සේනා නිසා පීඩාවට පත් ගොවීන් සොයා කෘෂිකර්ම අමාත්‍යංශය සමග නිව්ස්ෆස්ට් තවත් ක්‍රියාන්විතයක් අරඹයි

by Staff writer 29-01-2019 | 10:05 PM
COLOMBO (News 1st) - සේනා දළඹු උවදුරෙන් පීඩාවට පත්ව සිටින ගොවි ජනතාව සොයා කෘෂිකර්ම අමාත්‍යංශයේ ද සහය ඇතිව නිව්ස්ෆස්ට් තවත් වැඩසටහනක් අද ක්‍රියාත්මක කළේ ය. මෙවර නිව්ස්ෆස්ට් - කෘෂිකර්ම අමාත්‍යංශය සමග ඒකාබද්ධව දෙවැනි ක්‍රියාන්විතය ආරම්භ කළේ ගොවීන් මුහුණ දෙන ගැටලුවලට ප්‍රායෝගික විසඳුම් ලබා දීමේ අරමුණින්. ඒ අනුව අද අනුරාධපුර, මොණරාගල හා අම්පාර දිස්ත්‍රික්කවලින් වැඩසටහන ආරම්භ කෙරිණි. මොණරාගල මඩුල්ල, මුල්ලේගම, බිබිල, කරාඩුගල ආදී ප්‍රදේශ රැසක ක්ෂේත්‍ර පරීක්ෂාවක නිරත වූ කණ්ඩායම හමුවීමට පැමිණි ගොවියෙකු කෙසෙල් වගාවට හානි කරන දළඹුවෙකු හඳුනා ගැනීම සඳහා රැගෙන විත් තිබිණි. අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොවි බ්ම්වල සංචාරය කරන අප කණ්ඩායම ඇලයාපත්තුව ප්‍රදේශයේ බඩ ඉරිඟු ගොවීන් හමු විය. තවත් කණ්ඩායමක් අම්පාර නාමල් ඔය ව්‍යාපාරය ඇතුළු ගොවි බිම් රැසක අද සංචාරය කළේ ය. මේ අතර ගොවීන් පවසන්නේ, පසුගියදා රුපියල් 80ට අලෙවි කළ බඩ ඉරිඟු කිලෝග්‍රෑමය මේ වන විට රුපියල් 40කට අලෙවි කිරීමට සිදුව ඇති බව ය.