නාවික හමුදාවෙන් අහසට වෙඩි

වැලි ජාවාරම්කරුවන් වැටලූ මෙහෙයුමකදී නොසන්සුන් තත්ත්වයක්

by Staff writer 29-01-2019 | 1:21 PM
COLOMBO (News 1st) : ත්‍රිකුණාමලය, කින්නියා, කන්ඩල්කාඩු පාලම අසලදී වැලි ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක් අතරතුර අද උදෑසන නොසන්සුන් තත්ත්වයක් හටගෙන තිබේ. මෙම මෙහෙයුම ක්‍රියාත්මක කෙරුණේ, මහවැලි ගඟ ආශ්‍රිතව සිදුවන නීතිවිරෝධී වැලි ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීම සඳහායි. පොලිස් විශේෂ කාර්ය බලකාය හා නාවික හමුදාව ඒකාබද්ධව මෙම වැටලීම් ක්‍රියාත්මක කර තිබේ. ඒ, ජනාධිපතිවරයා සහ භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශයේ සභාපතිවරයා අතර පැවති සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙසයි. නාවික හමුදා ප්‍රකාශක, ලුතිනන් කමාන්ඩර් ඉසුරු සුරියබණ්ඩාර මහතා පැවසුවේ, අද අලුයම වැලි පුරවාගත් ටිපර් රථ දෙකක් තම භාරයට ගත් බවයි. අනතුරුව එම ස්ථානයේ අද උදෑසන ද වැලිගොඩ දමන බවට ලද තොරතුරක් මත නාවික හමුදා වැටලීම් කණ්ඩායම එම ස්ථානයට ගොස් තිබේ. එම අවස්ථාවේදී වැලි ජාවාරම්කරුවන්, අත්අඩංගුවට ගැනීමට විරෝධය පළ කරමින් නාවික හමුදා කණ්ඩායම් වෙත පහරදීමට තැත්කර ඇතැයි නාවික හමුදා ප්‍රකාශකවරයා සඳහන් කළේ ය. ඔහු කියා සිටියේ ඒ අවස්ථාවේදී නාවික හමුදා සාමාජිකයින් අහසට වෙඩි තබා ඇති බවයි. නාවික හමුදාව ක්‍රියාත්මක කළ මෙහෙයුමේදී වැලි ජාවාරම්කරුවන් 7 දෙනෙකු අත් අඩංගුවට ගෙන ඇති අතර තවත් තිදෙනෙකු දියට පැන පලා ගොස් තිබේ. නාවික හමුදා ප්‍රකාශකවරයා සඳහන් කළේ, වැලි ගොඩදමන්නන් අත්අඩංගුට ගැනීමේ මෙහෙයුම් නතර කිරීම සඳහා ජාවාරම්කරුවන් සංවිධානාමත්මක මෙම විරෝධතාව දක්වා ඇති බවයි. මේවන විට පොලීසිය හා පළාත් ආණ්ඩුකාරවරයා එම ස්ථානයට පැමිණ තත්තවය සාමාන්‍ය අතට පත්කර තිබේ. නාවික හමුදා ප්‍රකාශකවරයා කියා සිටියේ නීති විරෝධී වැලි ජාවරම මැඩපැවැත්වීම උදෙසා අඛණ්ඩව මෙහෙයුම් ක්‍රියාත්මක කරන බවයි. ඊයේ දිනයේදීද වැලි ජාවාරම්කරුවන්ට අයත් බෝට්ටු 6 ක් තම භාරයට ගත් බව නාවික හමුදා ප්‍රකාශකවරයා සඳහන් කළේ ය. නාවික හමුදා ප්‍රකාශකවරයා සඳහන් කළේ, පලා ගිය ජවාරම්කරවන් තිදෙනා අත්අඩංගුවට ගැනීමට වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බවයි.