පාර්ලිමේන්තුව තුළදී සුමන්දිරන්ට වෙනම නීතියක් ද?

by Staff writer 29-01-2019 | 8:49 PM
COLOMBO (News 1st) - පසුගිය නොවැම්බර් මාසයේ පාර්ලිමේන්තුවේ ඇති වූ ගැටුම් පිළිබඳව සකස් කළ කමිටු වාර්තාව අධ්‍යයනය කිරීමෙන් පසුව කථානායකවරයා ඉදිරි පියවර ගනු ඇතැයි එහි සභාපති නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා පවසයි. මෙම වාර්තාව කථානායකවරයාට භාර දුන්නේ, පසුගිය 22 වන දා ය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ද මෙම ගැටුම් පිළිබඳව වෙනම පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතාගේ සභාපතිත්වයෙන් යුත් කමිටු වාර්තාවේ ඇතුළත් කරුණු බී.බී.සී. සිංහල සේවය පසුගියදා අනාවරණය කළේ ය. එම අනාවරණයට අනුව පසුගිය වසරේ නොවැම්බර් 14, 15 සහ 16 යන දිනවල පාර්ලිමේන්තුවේ ඇති වූ ගැටුම්වලදී මන්ත්‍රීවරුන් 59 දෙනෙකු පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනතේ වගන්තිවලට එරෙහිව කටයුතු කර තිබේ. ඉන් 54 දෙනකුම එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන අතර සිව් දෙනෙක් එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරති. ජනතා විමුක්ති පෙරමුණේ එක් මන්ත්‍රීවරයෙකු ද පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනතේ වගන්ති උල්ලංඝනය කර ඇතැයි කමිටු නිර්දේශයේ සඳහන් ය.
විජිත හේරත් - පා.ම ජනතා විමුක්ති පෙරමුණ  පාර්ලිමේන්තුවේ ඇති වූ නොසන්සුන්තාව පිළිබඳව සේවීමට පත් කළ කමිටු වාර්තාවේ මගේ නම තියෙනවා. මගේ නම තියෙන්නේ වෙන මොකටවත් නෙවෙයි. විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කරලා බෙදීමක් අපි ඉල්ලා සිටියා. කථානායකවරයා යෝජනාවට පක්ෂ ද? විපක්ෂද? කියලා ඇහුවා. නමුත් අපි ඉල්ලා සිටියේ එක් එක් මන්ත්‍රීවරයාගේ නමින් ඒ යෝජනාවට පක්ෂ ද? විපක්ෂ ද? කියලා අහන්න කියලා. ඒක කථානායකතුමාට හරියට ඇසුනේ නැහැ ඒ ඝෝෂාව නිසා. ඊට පස්සේ මම කථානායකවරයා ළඟට ගිහින් නමින් බෙදීමක් ඉල්ලා සිටිනවා කියලා කිව්වා. ඉතින් කථානායකවරයා ළඟට ගිහින් නමින් බෙදීමක් ඉල්ලීම සම්බන්ධයෙන් තමයි මගේ නම කමිටු වාර්තාවේ තියෙන්නේ.
විජිත හේරත් මන්ත්‍රීවරයා පවසන ආකාරයට ඔහුට චෝදනා නගා ඇත්තේ නොවැම්බර් 14 වන දා වඩාත් ප්‍රජාතන්ත්‍රවාදීව විශ්වාසභංග යෝජනාවට ඡන්දය විමසීම සඳහා මැදිහත් වූ අවස්ථාවකදී ය. නමුත් මේ ගැටුම් ඇතිවූයේ කෙසේ ද?
එම්.ඒ.සුමන්දිරන් - පා.ම. දෙමළ ජාතික සන්ධානය (14/11/2018) "ගරු කථානායකතුමනි අංක 135 ස්ථාවර නියෝගය කෙරෙහි මම ඔබේ අවධානය යොමු කරනවා. මම යෝජනා කරනවා අද සභාවාරයේ ස්ථාවර නියෝග අත්හිටුවිය යුතුයි කියලා. ඔබට දකින්න ලැබෙන ආකාරයට මේ යෝජනාව කැබිනට් මණ්ඩලය නියෝජනය කරන අමාත්‍යවරයෙකු හැර වෙනත් අයෙක් ඉදිරිපත් කළොත් ඒ පිළිබඳව තීරණය කළ යුත්තේ සභාවේ ඡන්දයක් මගිනුයි. ඒ අනුව මම ස්ථාවර නියෝග අද දිනය සඳහා අත්හිටුවන්න යෝජනා කරනවා."
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 135 අනුව, ස්ථාවර නියෝග අත්හිටුවීමේ යෝජනාවක් ගෙන ඒමට මන්ත්‍රීවරයෙකුට ඇති අයිතියට අපි අභියෝග නොකරන්නෙමු. නමුත් කැබිනට් ඇමතිවරයෙකු නොවෙන අයෙකු එවැනි යෝජනාවක් ඉදිරිපත් කළහොත් මන්ත්‍රීවරුන් 20කට වැඩි ප්‍රමාණයක් එය සභාව තුළ අනුමත කළ යුතු බව 135 වන ස්ථාවර නියෝගයේම සඳහන් වේ. පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු වන ආකාරයෙන් නොවැම්බර් 14 වන දා මේ යෝජනාව සම්මත වුණා ද? ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙකු වූ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මන්ත්‍රීවරුන්ගේ නමින් ඡන්දය විමසා වඩාත් ප්‍රජාතන්ත්‍රවාදීව ක්‍රියා කිරීමට යෝජනා කරද්දී එම්.ඒ. සුමන්දිරන් මන්ත්‍රීවරයා ඊට මැදිහත් විය. මේ අතර එක්සත් ජාතික පක්ෂ රජය රැක ගැනීම වෙනුවෙන් පෙනී සිටි අවසානයේ තමන් විපක්ෂ නායක ධූරය ද අහිමි කර ගත් බව දෙමළ ජාතික සන්ධානයේම හවුල්කාර පාර්ශ්ව දැන් චෝදනා කරයි. පක්ෂයත්, පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයත් අභියෝගයට ලක්වන අයුරින් එම්.ඒ. සුමන්දිරන් මන්ත්‍රීවරයා ක්‍රියා කළ ආකාරය විමර්ශනයකට ලක් විය යුතු නොවේ ද? විජිත හේරත් මන්ත්‍රීවරයා නමින් ඡන්දයක් ඉල්ලා කථානායක අසුන වෙත ගමන් කිරීම විමර්ශනයකට තුඩු දෙන කරුණක් නම් සුමන්දිරන් මන්ත්‍රීවරයාගේ හැසිරීම විමර්ශනයකට නිමිත්තක් නොවේ ද?