අමෙරිකාවෙන් වෙනිසුවෙලා තෙල් සමාගමට සම්බාධක

අමෙරිකාවෙන් වෙනිසුවෙලා තෙල් සමාගමට සම්බාධක පැනවෙයි

by Staff writer 29-01-2019 | 6:32 AM
COLOMBO (News 1st) : අමෙරිකාව, වෙනිසුවෙලා රජයට අයත් ඛනිජ තෙල් සමාගමට එරෙහිව සම්බාධක පනවා තිබේ. අමෙරිකාව මෙම පියවර ගත්තේ, අමෙරිකාව සහ ලොව සෙසු රටවල් , මධූරෝ පාලනයෙන් ඉවත්කර  වෙනිසුවෙලාවේ පාලන බලය විපක්ෂයට ලබාදීමට ප්‍රයත්න දරන පසුබිමකදීයි. අමෙරිකාව වෙනිසුවෙලා ඛනිජ තෙල් සමාගමට එරෙහිව පැනවූ මෙම සම්බාධක , නිකලස් මධූරෝ ට එරෙහිව අමෙරිකාව ක්‍රියාත්මක කළ දැඩිම මූල්‍යමය ක්‍රියාමාර්ගය ලෙස සඳහන් ය . අමෙරිකාවේ මෙම නව සම්බාධක හමුවේ මධූරෝ රජයට වෙනිසුවෙලාවේ වඩාත් වැදගත්ම ආදායම් මාර්ගයක් සහ විදේශ මුදල් මෙන්ම වෙනිසුවෙලා ඛනිජ තෙල් සමාගමට අයත් අමෙරිකානු ඩොලර් බිලියන 7 ක වත්කම් වෙත ළඟාවීමට නොහැකිවනු ඇති. අමෙරිකාව , ඕස්ට්‍රේලියාව සහ ලතින් අමෙරිකානු රටවල් රැසක් ඉකුත් සතියේ එරට අන්තර්වාර ජනාධිපතිවරයා ලෙස විපක්ෂ නායක ජුවාම් ගුවයිඩෝ පිළිගැනීමත් සමඟ වෙනිසුවෙලාවේ දේශපාලන අර්බුදය තවදුරටත් උග්‍ර විය. කෙසේ වෙතත් රුසියාව , චීනය සහ තුර්කිය සහය පළ කළේ මධූරෝ රජයටයි . තමන් බලයෙන් පහකිරීමට අමෙරිකාව සහ ලොව සෙසු රටවල් ආර්ථික යුද්ධයක් අරඹා ඇතැයි නිකලස් මධූරෝ චෝදනා කළේ ය. කෙසේ වෙතත් මෙම නව සම්බාධක වෙනිසුවෙලා ජනතාවට හෝ එරටට ලබාදෙන මානුෂවාදී ආධාර වලට බලපෑම් නොකරන බව ද අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පේයෝ අවධාරණය කළේ ය.