මූලික වැටුප ඉහළ නංවමින් ඒකාබද්ධ ගිවිසුමක්

වතු කම්කරුවන්ගේ දෛනික මූලික වැටුප රුපියල් 700 දක්වා ඉහළ නංවමින් ඒකාබද්ධ ගිවිසුමට අත්සන් තැබේ

by Staff writer 28-01-2019 | 4:46 PM

COLOMBO (News 1st) - වතු කම්කරුවන්ගේ දෛනික මූලික වැටුප රුපියල් 700 ක් දක්වා ඉහළ නංවමින් ඒකාබද්ධ ගිවිසුමට අද අත්සන් තබා තිබේ.

ඒ, ලංකා කම්කරු කොංග්‍රසය, ජාතික වතු කම්කරු සංගමය සහ වතු හාම්පුතුන්ගේ සංගමය අතරයි. කෙසේ නමුත් වතු වෘත්තිය සමිති සන්ධානය ගිවිසුමට අත්සන් තබා නැත. අදාළ ගිවිසුමට අනුව වතු කම්කරුවෙකුගේ දෛනික මූලික වැටුප රුපියල් 700 ක් ලෙස තීරණය කර ඇති අතර වතු කම්කරුවෙකු විසින් අමතරව නෙලන ලද තේ දළු කිලෝග්‍රෑම් 01 ක් සඳහා රුපියල් 50 බැගින් හිමිවනු ඇති. වතු කම්කරුවන් වැඩ කරන දිනයකට රුපියල් 105 ක් බැගින් සේවක අර්ථ සාධක අරමුදල් හා සේවක භාරකාර අරමුදල් ගෙවීය යුතු බවට ද අදාළ ගිවිසුමේ සඳහන් වේ. මේ අතර දෛනික මූලික වැටුප රුපියල් 1000 ක් දක්වා වැඩි කරන්නැයි බල කරමින් හැටන් - කොළඹ ඇතුළු ප්‍රධාන මාර්ග කිහිපයක් අවහිර කරමින් වතු කම්කරුවන් අද දිනයේ ද විරෝධතාවයේ නිරත විය.