තව ත් විකෘති කරන ලද හඬ පටයක් අධිකරණයට

මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් තව ත් විකෘති කරන ලද හඬ පටයක් අද අධිකරණයට

by Staff writer 28-01-2019 | 5:10 PM

COLOMBO (News 1st) - මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් විමර්ශනය කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ තව ත් විකෘති කරන ලද හඬ පටයක් අද අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

මෙහිදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය නියෝග කළේ, එම හඬ පටය රජයේ රස පරීක්ෂක වෙත යොමු කර වාර්තාවක් ලබා ගන්නා ලෙසයි. මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැර සිටින පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකාර අර්ජුන ඇලෝෂියස් ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන, නුවන් සල්ගාදු හා සචිත්‍ර දේවතන්ත්‍රි යන සැකකරුවන් අද කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනි සිටියහ. මෙහිදී කසුන් පලිසේන මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට කියා සිටියේ, අධිකරණ නියෝගයට අනුව පලිසේන මහතා ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනි සිටීමට ගිය අවස්ථාවේදී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ බව කියන නිලධාරියෙකුගෙන් තම සේවාදායකයාට බාධා එල්ල වුණ බවයි. එවැනි බාධාවක් සිදු ව ඇත්නම් ඒ සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි කරන ලෙස ද අධිකරණය එම සැකකරුට නියෝග කළේ ය.