ජනාධිපති ප්‍රශංසා සම්මාන උළෙල....

මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමේදී දක්ෂතා දැක්වූ පොලිස් නිලධාරින්ට ජනපතිගෙන් සම්මාන

by Staff writer 28-01-2019 | 11:22 AM
COLOMBO (News 1st) : මතින් නිදහස් රටක් සංකල්පය සාර්ථක කර ගැනීමට දිවි හිමියෙන් කැපවූ හා නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමේදී විශේෂ දක්ෂතා දැක්වූ පොලිස් නිලධාරීන් ඇගයීමට ලක් කෙරෙන ජනාධිපති ප්‍රශංසා සම්මාන උළෙල මේ වන විට කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. ඒ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනමහතාගේ ප්‍රධානත්වයෙනි. 2015 ජනවාරි 01 වන දා සිට 2019 ජනවාරි 14 වන දා දක්වා කාල පරිච්ඡේදය තුළ විෂ මත්ද්‍රව්‍ය වැටලීම් සිදුකිරීම සඳහා සක්‍රිය ලෙස දායකවී ඇති නිලධාරීන් සහ විෂ මත්ද්‍රව්‍ය ජාවාරම්වල යෙදුන සංවිධානත්මක අපරාධ මර්දනය කිරීම සඳහා සක්‍රීයව දායකවූ විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් ඇතුළු පොලිස් නිලධාරීන් 1034 දෙනෙකුට මෙහිදී ජනාධිපතිවරයා, පදක්කම් සහ ප්‍රශංසා සහතික පිරිනැමීමට නියමිතයි. කාණ්ඩ 3 ක් යටතේ මෙම ඇගැයීම් සම්මාන පිරිනැමෙන අතර ජනාධිපති පොලිස් වීරතා පදක්කම, පදක්කම්ලාභීන් 15 දෙනෙකු වෙතත්, පොලිස් දක්ෂතා පදක්කම පදක්කම්ලාභීන් 59 දෙනෙකු වෙතත් පිරිනැමීමට නියමිතව ඇතැයි ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ ය. සෙසු පිරිසට ප්‍රශංසා සහතිකපත් පිළිගැන්වෙනු ඇති. සුරක්ෂිත හෙටක් - මෛත්‍රී පාලනයක් යන්න තේමා කර ගනිමින්, මතින් නිදහස් රටක් උදෙසා ක්‍රියාත්මක මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහන යටතේ ජනවාරි 21 වැනිදා සිට 28 වැනිදා දක්වා මත්ද්‍රව්‍ය නිවාරණ සතියක් ද ප්‍රකාශයට පත්කරමින් පුළුල් වැඩසටහන් මාලාවක් පසුගිය දින කිහිපය තුළ ක්‍රියාත්මක කෙරිණ.