තිසර පෙරේරාගෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත ලිපියක්

තිසර පෙරේරාගෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත ලිපියක්

by Staff writer 28-01-2019 | 10:39 PM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක තිසර පෙරේරා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ප්‍රධානි ඈෂ්ලි ද සිල්වා මහතාට ලිපියක් යොමු කර තිබේ.

මෙහි සඳහන් වන්නේ, පසුගිය නවසීලන්ත සංචාරය තුළ සමාජ ජාල වෙබ් අඩවි තුළ පළවූ සටහනක් සම්බන්ධයෙන් ඇතිවූ කතිකාවතයි. තම ලිපියේ තිසර පෙරේරා සඳහන් කර තිබෙන්නේ සමාජ මාධ්‍ය තුළ ඇතිවූ මෙම කතාබහ හේතුවෙන් තමා දැඩි මානසික පීඩනයකට ලක් වූ බවය. එසේම කිසිවිටෙක තමා ඉහළ නිලධාරීන්ගෙන් හෝ තේරීම් කමිටු සමාජිකයින්ගේ විශේෂිකරණය යටතේ කණ්ඩායමට එක් නොවු බව ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත. තමා පිළිබඳව සඳහන් කරමින් වගකිය යුතු පුද්ගලයින් සිදු කරන චෝදනා හමුවේ ජනතාව තුළ තමා කෙරෙහි ඇති විශ්වාසය ද බිඳ වැටීම වැළැක්විය නොහැකි බව ද එම ලිපියේ සඳහන් විය. අදාළ සටහන මාධ්‍ය තුළ කතාබහට ලක්වීමත් සමග ක්‍රීඩා විවේකාගාරය තුළදී ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් දෙදෙනකු අතර ඇතිවූ මෙම තත්ත්වය යොවුන් ක්‍රීඩකයින්ට ද අයහපත් පූර්වාදර්ශයක් වූ බව ඔහු තම ලිපියෙන් සඳහන් කර තිබේ. තමාගේ එකම අභිප්‍රාය කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීම බව ද තිසර යොමු කළ ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ. ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක් අභිමුව සිටින අවස්ථාවකදී කණ්ඩායමේ අභිප්‍රාය විය යුත්තේ ඒ පිළිබඳව අවධානය යොමු කිරීම මිස සමාජ මාධ්‍ය තුළ පළවන මෙවැනි දෑ සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම නොවන බව ද තිසර පෙරේරා තම ලිපයෙන් පෙන්වා දෙයි. තිසර වැඩිදුරටත් සඳහන් කරන්නේ, ශ්‍රී ලංකා කණ්ඩායම ස්ථාවර නායකත්වයක් යටතේ කණ්ඩායමක් ලෙස ඉදිරියට යාම මිස කොටස් වශයෙන් බෙදී වෙන්ව කටයුතු කිරීමෙන් ඵලක් නොවන බවයි. මෙම ලිපියේ සඳහන් කරුණු පිළිබඳ විභාගයක් සිදු කිරීමට අවශ්‍ය නම් තමා ඒ වෙනුවෙන් පෙනි සිටීමට සූදනාම් බව ද තිසර පෙරේරා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ප්‍රධානියාට දැනුම්දී තිබේ.