අමෙරිකාවෙන් වෙනිසුවෙලාවට අනතුරු ඇඟවීමක්

අමෙරිකාවෙන් වෙනිසුවෙලාවට අනතුරු ඇඟවීමක්

by Staff writer 28-01-2019 | 8:35 AM
අමෙරිකාව වෙනිසුවෙලාවට අනතුරු අඟවා තිබේ. අමෙරිකානු ජාතික ආරක්ෂාව පිළිබඳ උපදේශක ජෝන් බෝල්ටන් , වෙනිසුවෙලාවට අනතුරු අඟවමින් කියා සිටියේ වෙනිසුවෙලාවේ සිටින අමෙරිකානු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්ට හෝ වෙනිසුවෙලානු විපක්ෂ නායක ජුවාන් ගුවයිඩෝ ට එරෙහි ඕනෑම ආකාරයේ තර්ජනයකට එරෙහිව ප්‍රතිචාර දක්වන බවයි. එවැනි ඕනෑම ආකාරයේ බලපෑමක් , නීතියට එල්ල කල ප්‍රභල පහරක් ලෙස සලකන බවද ජෝන් බෝල්ටන් වැඩිදුරටත් කියා සිටියේ ය. ජෝන් බෝල්ටන් මේ බව කියා සිටියේ අමෙරිකාව සහ ලොව තවත් රටවල් 20 කට වැඩි සංඛ්‍යාවක් ජුවාන් ගුවයිඩෝ වෙනිසුවෙලාවේ අන්තර්වාර ජනාධිපතිවරයා ලෙස පිළිගැනීමෙන් පසුවයි. ඉකුත් වසරේ පැවති ජනාධිපතිවරණය දූෂිත බව පවසමින් , වෙනිසුවෙලානු විපක්ෂ නායක ජුවාන් ගුවයිඩෝ , ඉකුත් බදාදා තමන් එරට අන්තර්වාර ජනාධිපතිවරයා බවට ප්‍රකාශ කිරීමෙන් පසු වෙනිසුවෙලාවේ මෙම දේශපාලන අර්බුදකාරී තත්ත්වය හටගත්තේ ය. කෙසේ වුවත් තමන්ට එරෙහි ජාත්‍යන්තර විරෝධය දිනෙන් දින උත්සන්න වන පසුබිමකදී වෙනිසුවෙලානු ජනාධිපති නිකලස් මධූරෝ එරට හමුදා ශක්තිය පෙන්වමින් පෙලපාලියක නිරතවුණා . ඒ ,යලි ජනාධිපතිවරණයක් පවත්වන ලෙසට ජාත්‍යන්තරයෙන් බලපෑම් එල්ල වුවත්  වෙනිසුවෙලා හමුදාවේ පක්ෂපාතීත්තවය තවමත් තමන් සමග බවත් වෙනිසුවෙලාව විදේශික බලපෑමෙන් මුදාගැනීමට සටන්කිරීමට හමුදාව සුදානම් බවත් පෙන්නුම්කරමිනි. මේ අතර ජුවාන් ගුවයිඩෝ ගේ ආධාරකරුවකු වන කාලෝස් ඇල්ෆ්‍රෙඩෝ  ,වෙනිසුවෙලාවේ අමෙරිකානු නියෝජිතයා ලෙස පිලිගන්නා බව ට්‍රම්ප් පරිපාලනය කියා සිටියේ ය. නිවේදනයක් නිකුත්කරමින් අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පේයෝ කියා සිටියේ මින් පසු වෙනිසුවෙලාව වෙනුවෙන් සිදුකෙරෙන සියලුම අමෙරිකානු රාජ්‍යතාන්ත්‍ර සබඳතා , කාලෝස් ඇල්ෆ්‍රඩෝ ගේ මැදිහත්වීමෙන් සිදු කෙරෙනු ඇති බවයි . වෙනිසුවෙලාව සම්බන්ධයෙන් එක් පාර්ශවයක් තෝරාගැනීමට දැන් ජාත්‍යන්තර ප්‍රජාවට කාලය එලැඹ ඇතැයි ද මයික් පොම්පේයෝ වැඩිදුරටත් සඳහන් කළේ ය.