අගමැතිට ගම්මන්පිලගෙන් අභියෝගයක්...

by Staff writer 28-01-2019 | 9:36 PM

COLOMBO (News 1st) - නව ව්‍යවස්ථාවක් සම්බන්ධයෙන් කළුතර පැවැති උත්සවයකදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අදහස් පළ කර තිබේ.

අග්‍රාමාත්‍ය, රනිල් වික්‍රමසිංහ,
දැන් මොකද්ද කියන්නේ අපි රට බෙදනවාලු, රට බෙදන්නෙත් නෑ, අලුත් ව්‍යවස්ථාවක් ගේනවලු, අලුත් ව්‍යවස්ථාවකුත් ගේන්නේ නෑ. ව්‍යවස්ථාදායක සභාව ඔක්කොම එකතු වෙලා හැදුවා. එතන කොමිටියක් දැම්මා. එතනතමයි ඔක්කොම එක්ක සාකච්ඡා කරේ අපි‍ට පුළුවන් එකඟත්වයකට එන්න කියලා. එක එක අය දෙන වාර්තා ඇවිල්ලා ව්‍යවස්ථාදායක සභාවට දෙනවා. දැනුත් සාකච්ඡා කරලා විශේෂයන්ගෙන් දේශපාලන පක්ෂවල වාර්තා ටික දාල තියෙන්නේ. ව්‍යවස්ථා හදන එක මගේ අතේ නෙවෙයි. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙක එකඟ වෙන්න ඕන ව්‍යවස්ථාව හදන්න. අපේ මල්වත්තේ මහනායක ස්වාමීන් වහන්සේ සඳහන් කරපු හැටියට එහෙම තත්ත්වයක් තියෙනවද කියලාත් ප්‍රශ්නයක්. ඒක ඇත්ත. මෙතන ව්‍යවස්ථා හදන එකක් නෑ. ව්‍යවස්ථාව කෙටුම් පතක් නෙවෙයි දීලා තියෙන්නේ. තුනෙන් දෙකක් තියෙනවා නම් විතරයි ව්‍යවස්ථාවක් හදන්න පුළුවන්
මේ සම්බන්ධයෙන් අද පැවැති මාධ්‍ය හමු කිහිපයකදී මෙලෙස ප්‍රතිචාර පළවිය. පිවිතුරු හෙළ උරුමයේ නායක, උදය ගම්මන්පිල,
අපි දැක්කා අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඊයේ උත්සවයක් අමතමින් ප්‍රකාශයක් කරනවා, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කෙටුම්පතක් ඉදිරිපත් කරලා නැහැ දැන් දෙමළ ජාතික සංවිධානය ඒකීය රාජ්‍ය පිළිඅරන් තියෙන්නේ මේක අපේ ලොකු ජයග්‍රහණයක් කියලා. අනේ අගමැතිතුමනි දැන්වත් මේ බොරු කියන නතර කරනු මැනවි. අපි පැහැදිලිවම පෙන්නුවා අගමැතිතුමා විසින් සකස් කරපු වාර්තාවේ පළවෙනි පිටුවෙම මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යනුවෙන් සඳහන් වෙනවා කියලා පෙන්වලා දුන්නා. එම් ඒ ඒ සුමන්දිරන් මන්ත්‍රීතුමා මොකද කිව්වේ? මේ යුනිටරි නමින් ලෝකයේම හඳුන්වන ශ්‍රී ලංකාවට යොදාගත් ඒකීය රාජ්‍ය අපි පිළිගන්නේ නැහැ කියලා ඉතාම පැහැදිලිවම සඳහන් කළා.
මාධ්‍යවේදී ප්‍රශ්නය,
අගමැති කිව්වා මේක සම්මත කරගන්න පුළුවන් වෙන්නේ තුනෙන් දෙකේ බලයෙන් පමණයි, ඒ වගේම මේකට සම්බන්ධයක් නැහැ කියලා.
පිවිතුරු හෙළ උරුමයේ නායක, උදය ගම්මන්පිල,
මං ඇස් 4 න් බලන හින්දා වැඩි වැඩියෙන් පේනවා පසුගියා 11 වැනි දා මමත් ආණ්ඩුක්‍රම සම්පාදක මණ්ඩලයේ සිටියදී තමයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ. එතුමාගේ කිසිම සම්බන්ධයක් නැත්තන් එතුමා ඉදිරිපත් කළේ මොකට ද? ඔන්න ඕක තමයි කියන්නේ අනුන්ගේ දරුවන්ගේ උප්පැන්නයට තමන්ගේ නම දෙන්න යන්න එපා කියලා. අගමැතිතුමා මේක හැදුවේ නැති වෙන්න පුළුවන් නමුත් මේක පිටිපස්සේ ඉන්නේ එම් ඒ සුමන්තිරන්, ජයම්පති වික්‍රමරත්න සහ සුරේන් ප්‍රනාන්දු නීතිඥවරයා වෙන්න පුළුවන්. මේක ඉදිරිපත් කෙරුවා නම් එයා තමයි අයිතිකරු, ඒ නිසා අගමැතිතුමනි පැනලා යන්න බැහැ. ඔබතුමාට එක දෙයක් කරන්න පුළුවන් ඔබතුමා මේ ලේඛනය පිළිගන්නේ නැතිනම් තමන් විසින් ඉදිරිපත් කරපු මේ ලේඛනය මම නොවෙයි අයිතිකරු ඒ නිසා මේක ඉවත් කරගෙන අයිතිකරුවට ඉදිරිපත් කරන්න දෙනවා කියලා ලේඛනය ඉවත් කරගන්න කියලා අපි අගමැතිතුමාට අභියෝග කරනවා.
සමාජවාදි ජනතා පෙරමුණේ ප්‍රධාන ලේකම්, රාජා කොල්ලුරේ,
අන්දෝලනාත්මක ප්‍රකාශයක් කරනවා අපේ අගමැතිතුමා. අපේ රටේ දේශපාලන පක්ෂ අතර ඒකීය ව්‍යවස්ථාවක් පිළිබඳ සම්පූර්ණ එකඟතාවයක් තියෙනවා කියලා. ඒකීය කියන වචනයත් එක්ක දෙමළ ජාතික සන්ධානය ඉදිරිපත් කරනවා ඔරුමිත්තනාඩු වචනය. ඔරුමිත්තනාඩු කියන්නේ ඒකීය නෙවෙයි. ඒකීය ස්ථාවරේ දෙමළ ජාතික සන්ධානයේ සිටිනවා නම් ඔරුමිත්තනාඩු කියන වචනය ඉවත් කර ගන්න ඕන. සම්බන්ධන් හිටපු විපක්ෂ නායකතුමා තමන්ගේ ‍මන්ත්‍රී කණ්ඩායම අමතා ප්‍රකාශ කරලා තියෙනවා ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන ව්‍යවස්ථාවේ ෆෙඩරල් ලක්ෂණ තියෙනවායි කියලා දැන් මේ කාරණා දෙක ගත්තාහම රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාගේ ප්‍රකාශය අපිට පිළිගන්න පුළුවන්ද රනිල් වික්‍රමසිංහ මැතිතුමා පිළිගන්නවානම් මල්වත්තේ නායක ස්වාමීන් වහන්සේගේ උපදෙස ඔහු කළ යුත්තේ මේ ක්‍රියාදාමය අත්හිටුවා මැතිවරණ පැවැත්වීම සඳහා පියවර ගැනීමයි.
මාධ්‍යවේදී ප්‍රශ්නය,
අග්‍රාමාත්‍යතුමා ප්‍රකාශ කරනවා ව්‍යවස්ථාව හැදීම සම්බන්ධයෙන් එතුමාගේ කිසිම මැදිහක්වීමක් නෑ කියලා. ඒ සම්බන්ධයෙන් ඔබතුමා දරන මතය කුමක් ද?
පිළිතුර, පා.ම. වාසුදේව නානායක්කාර,
එතුමා තමයි සභාපති මෙහෙයුම් කමිටුවේ. එතුමා තමයි ව්‍යවස්ථා සම්පාදක සභාවේ යෝජනාව ගෙනාවේ. එතුමා තමයි කැඳවීම් ඔක්කොම කරන්නේ. ඉතින් එහෙම ඉඳගෙන එයාගේ මේකට සම්බන්ධයක් නෑ වගකීමක් නෑ කියනව නම් මම හිතන්නේ එතුමා තවදුරටත් සුදුසුකමක් නෑ මේ රටේ අගමැති වෙන්න.