බණ්ඩාරගමදී කේරළ ගංජා සමග 3 දෙනෙකු අත්අඩංගුවට

බණ්ඩාරගමදී කේරළ ගංජා සමග 3 දෙනෙකු අත්අඩංගුවට

by Staff writer 27-01-2019 | 9:20 AM
COLOMBO (News 1st) - බණ්ඩාරගම, ගල්තුඩේ පාලම අසළදී මෝටර් රථයකින් කේරළ ගංජා ප්‍රවාහනය කරමින් සිටි කාන්තාවක ඇතුළු 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, ඔවුන් සන්තකයේ තිබී කේරළ ගංජා කිලෝග්‍රෑම් 5ක් සහ හෙරොයින් ග්‍රෑම් 2කට ආසන්න ප්‍රමාණයක් සිය භාරයට ගත් බව ය. එම ජාවාරමට යොදා ගත් මෝටර් රථය පසුගිය ජනවාරි පළමු වන දා කළුතර උතුර පොලිස් බල ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමේ සිද්ධිය සඳහා පැමිණි මෝටර් රථය බව සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී තිබේ. පොලීසිය පැවසුවේ, සැකකාරියගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වූ තොරතුරු මත කළුතර පළාතොට ප්‍රදේශයේදී නිවසක තිබී රිවෝල් වර්ගයේ ගිනිඅවියක්, සජීව පතොරම් 5ක්, ජංගම දුරකතන හා සටහන් පොත් 02 ක් ද සොයා ගත් බව ය. දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින අපරාධකරුවෙකු සමග මොවුන් සමීප සබඳතා පවත්වා ඇතැයි ද විමර්ශනවලදී අනාවරණය වී තිබේ. ඉන් අයෙක් පසුගිය 15 වන දා පයාගලදී පුද්ගලයෙකුට කඩුවකින් පහර දී තුවාල සිදු කිරීමේ සිද්ධියට අවශ්‍යව සිටි සැකකරුවෙකි. අත්අඩංගුවට ගත් සැකකරුවන් දින 7ක් රඳවා තබා ගෙන ප්‍රශ්න කිරීමට අධිකරණයෙන් අවසර දී තිබේ.