by Staff writer 27-01-2019 | 7:06 PM
COLOMBO (News 1st) : කිසියම් පිරිසක් පැහැරගෙන ගිය බව කියන ගාල්ල බූස්ස ප්‍රදේශයේ ව්‍යාපාරිකයින් දෙදෙනෙකු සොයා පොලිස් කණ්ඩායම් දෙකක් පරීක්ෂණ ආරම්භ කර තිබේ.
බූස්ස, රත්නඋදාගම පදිංචි මංජුල අසේල හා රෂීන් චින්තක නමැති ව්‍යාපාරිකයින් දෙදෙනා මෙලෙස පැහැරගෙන ගොස් තිබුණේ, පසුගිය 23 වනදා යි.
පොලිස් නිල ඇඳුමට සමාන ඇඳුමකින් සැරසුණු පිරිසක් ගිහි අවි අතැතිව පැමිණ ඔවුන් දෙදෙනා රැගෙන ගිය බව පවුලේ ඥාතීහු පවසති.
මෙම පැහැරගැනීම සිදුව ඇත්තේ මංජුල අසේල නමැත්තාගේ නිවසේදීයි.
මෙම සිදුවීම සිදුවීමට පෙර රෂීන් චින්තක සිය නිවසේ සිට සිය මිතුරාවූ මංජුල අසේලයේ නිවසට පිටව ගොස් තිබිණ.
පැහැරගැනීමට ලක්වූ බව කියන මංජුල අසේල කුකුළු මස් ව්‍යාපාරයක් පවත්වාගෙන යන තිදරු පියෙකි.
මීට වසර 12 කට පෙර සිදුවූ පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් සැකකරුවෙකු වන ඔහු සෑම මසකම අවසන් ඉරිදා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින අයෙකි.
පැහැර ගැනීමට ලක්වූ බව කියන රෂීන් චින්තක නමැත්තා එක් දරු පියෙකු වන අතර ඔහු තොග මාළු වෙළඳාමේ නිරතවූ අයෙක් බව පොලීසිය පැවසී ය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසුවේ රත්ගම පොලීසිය සහ ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මෙම සිද්ධිය පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි.