by Staff writer 27-01-2019 | 9:51 PM
COLOMBO (News 1st) : ශ්‍රී ලංකාවට සමීපව යාත්‍රා කරන ඇමරිකානු නාවික හමුදාවේ යූඑස්එස් ජෝන් සී ස්ටෙනිස් යුද නෞකාවට සැපයුම් ලබාදීමේ වැඩ සටහනක් කටුනායක ගුවන් තොටුපොල ආශ්‍රිතව මේ දිනවල ක්‍රියාත්මකවීම පිළිබඳව පුළුල් සංවාදයක් ඇතිවී තිබේ.
ලොව අති නවීන යුද තාක්ෂණයෙන් සමන්විත ඇමෙරිකානු නාවික හමුදාවට අයත් යූ.එස්.එස්. ජෝන් සි ස්ටෙනිස් නෞකාව මේ වනවිට ත්‍රිකුණාමලයට ඔබ්බෙන් වූ මුහුදු සීමාවේ නැංගුරම් ලා ඇති බව සන්ඩේ ටයිම්ස් පුවත්පත අද වාර්තා කළේ ය.
එකවර ප්‍රහාරක ගුවන් යානා අනූවකට අධික ප්‍රමාණයක් ගාල් කර තැබිය හැකි, ප්‍රහාරක මිසයිල ඇතුළු යුදෝපකරණ රැසකින් සමන්විත මෙම නෞකාව විශේෂිත පුහුණුව ලැබු ඇමරිකානු නාවික හමුදා සෙබලුන් 6500 ක පමණ බලඝනයකින් ද සමන්විතයි.
ලොව ප්‍රමුඛතම යුද යානා ප්‍රවාහන නෞකාවක් ලෙස ප්‍රකට යූ.එස්.එස්. ජෝන් සි ස්ටෙනිස් නෞකාව ඉකුත් වසරේ ඔක්තෝබර් මාසයේ 15 වැනිදා සිට සිංගප්පුරුව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යෙය් ජෙබල් අලී වරාය අතර යාත්‍රාකරමින් සිය කටයුතු මෙහෙයවමින් සිටී.
නෞකා බලඇණියේ මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් ජෝ කෙලී මහතා නිකුත් කළ නිවේදනයක දැක්වුනේ ලබන 29 වැනිදා දක්වා මෙම නෞකාවට අවශ්‍ය සැපයුම් ලබා ලැනීමට කටුනායක ගුවන්තොටුපොළ භාවිත කරන බවයි.
බහරේනයේ සිට ගුවන් මගින් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ දක්වා රැගෙන එන භාණ්ඩ, පසුව ගුවන් තොටුපලේ සිට ගුවනින් නෞකාව වෙත ප්‍රවාහනය කෙරෙයි.
ඒ සඳහා ඔවුන් යොදා ගන්නේ නෞකාවටම අයත් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානායි.
අදාළ භාණ්ඩ හුවමාරුව අවසානයේ කිසිදු භාණ්ඩයක්, නිලධාරියෙකු හෝ යුද උපාංග කිසිවක් ශ්‍රී ලංකාව තුළ ඉතිරි නොකරන බව ලුතිනන් ජෝ කෙලී මහතා සිය නිවේදනයේ සඳහන් කර තිබේ.
මෙම වැඩසටහනෙන් ශ්‍රී ලංකාවට රුපියල් මිලියන 25 ක පමණ මුදලක් උපයා ගත හැකි බව ද ඔහුගේ නිවේදනයේ සඳහන් ය.
ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය ප්‍රකාශකයෙකු උපුටා දක්වමින් සිලොන් ටුඩේ පුවත්පත අද වාර්තාකර තිබුණේ අදාළ පහසුකම් සැපයීම හරහා දැනටමත් ශ්‍රී ලංකාවට මිලියන 31ක මුදලක් ලබා දී ඇති බවයි.
ලොව ප්‍රබල යුද උපකරණ සේවා නෞකාවකට ශ්‍රී ලංකාව හරහා මේ ආකාර පහසුකම් සැපයීම පිළිබඳව අප ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාගෙන් විමසීමක් කළේ ය.
ඔහු සඳහන් කළේ, අදාළ කටයුත්ත වාණිජමය ගිවිසුමක් යටතේ සිදුකෙරෙන බැවින් ඊට ආරක්ෂක අමාත්‍යංශයේ හෝ විදේශ කටයුතු අමාත්‍යංශයේ කිසිදු සම්බන්ධයක් නොමැති බවයි.
එය ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගම යටතේ සිදුකෙරෙන වාණිජමය ගණුදෙනුවක් බවත්, මෙවැනි හුවමාරු අවස්ථා ලොව ඕනෑම රටකට ලබා දීමේ ගැටලුවක් නොමැති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.