සේනා කළ හානියට වඩා හානියක් වී අලෙවි මණ්ඩලයට සිදු වෙයි

by Staff writer 26-01-2019 | 6:01 PM
COLOMBO (News 1st) - අද වන විට රට පුරා කෘෂිකාර්මික බෝග වගාවන්නට සේනා දළඹුවා විශාල හානියක් සිදු කරමින් සිටියි. එම දළඹුවාගෙන් සිදු වූ හානියටත් වඩා හානියක් රටටම බත සපයන වී අලෙවි මණ්ඩලයේ සිදු වී ඇති බව පාර්ලිමේන්තුව රාජ්‍ය ආයතනවල වංචා දූෂණ සේවීමට පත් කළ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කොප් කමිටුව විසින් පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වාර්තාවෙන් අනාවරණය වී තිබේ. 2014/2015 වර්ෂවල යළ හා මහ කන්නවලදී ගොවීන්ගෙන් වී මිලදී ගැනීමට වී අලෙවි මණ්ඩලය නාඩු කිලෝවකට රුපියල් 45 බැගින් ගෙවා තිබිණි. එහෙත් එම වී තොග ලබා ගත් මිලටම අලෙවි කිරීමට වී අලෙවි මණ්ඩලයට හැකියාව තිබියදී එම වී කිලෝවක් සත්ත්ව ආහාර සඳහා අලෙවි කර ඇත්තේ රුපියල් 24 බැගිනි. එමගින් වී අලෙවි මණ්ඩලයට රුපියල් මිලියන 2487.7ක පඩුවක් සිදුව තිබේ. එම අලෙවිය සම්බන්ධව කොප් කමිටුව විසින් අමාත්‍යංශ ලේකම්වරයාගෙන් සහ වී අලෙවි මණ්ඩලයේ සභාපතිවරයාගෙන් කරුණු විමසා ඇති අතර එහිදී ඔවුන් සඳහන් කර ඇත්තේ, වී ගබඩා හිස් කර ගැනීමේ අරමුණින් මෙම වී තොග අලෙවි කර ඇති බව ය. මේ අතර 2013 වර්ෂයේ වී අලෙවි මණ්ඩලය විසින් සහල් බවට පත් කිරීමට මොල් හිමියන් 32 දෙනෙකු සඳහා ලබා දුන් වී තොගවලින් සහල් බවට පත් කර සතොස වෙත සහල් ලබා දී ඇත්තේ, ඉන් කොටසක් බවට ද කරුණු අනාවරණය කර ගෙන තිබේ. ඊට අදාළව මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණයක් පවත්වන අතර අධිකරණයට ද කරුණු වාර්තා කර තිබේ. මෙම වාර්තාවට අනුව එකම පුද්ගලයාට අවස්ථාවන් කිහිපයකදී වී තොග නිකුත් කර ඇති බව තහවුරු වේ. මේ අතර මේ වසරේ සිට කොප් කමිටුවේ පරීක්ෂණ සිදු කරන ආකාරය මාධ්‍යයට අනාවරණය කිරීමට කටයුතු කරන බව එහි සාමාජික කැබිනටි නොවන අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසුවේ ය.