මාලි ප්‍රහාරය එක්සත් ජාතින්ගේ මහලේකම් හෙළා දකී

මාලි රාජ්‍යයේදී හමුදා සාමාජිකයින්ට එල්ල වූ ප්‍රහාරය එක්සත් ජාතීන්ගේ මහලේකම් හෙළා දකී

by Staff writer 26-01-2019 | 12:53 PM

COLOMBO (News 1st) - මාලි රාජ්‍යයේ එක්සත් ජාතින්ගේ සාම සාධක රාජකාරිවල නියුතු ශ්‍රී ලංකා යුද හමුදා සාමාජිකයින්ට එල්ල වූ ප්‍රහාරය එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුරියරස් මහතා හෙළා දැක තිබේ.

එම ප්‍රහාරයෙන් ශ්‍රී ලංකා හමුදා කපිතාන් එච්. ඩබ්ලිව්. ඩී ජයවික්‍රම සහ ක්‍රෝපල් එස්. එස්. විජයකුමාර යන මහත්වරුන් මිය ගියහ. ශ්‍රී ලංකා යුද හමුදාව සඳහන් කළේ, ඉන් තව ත් හමුදා සෙබළුන් තිදෙනෙකු තුවාල ලබා ඇති බවයි. අදාළ හමුදා සාමාජිකයින් පිරිස ගමන් ගත් WMZ වර්ගයේ සන්නද්ධ රථය, මාලි රාජ්‍යයේ ඩුඑන්සා ප්‍රදේශයේදී දුරස්ත පාලකයකින් ක්‍රියාත්මක අධිබලැති පුපුරණ ද්‍රව්‍ය ප්‍රහාරයකට ලක් ව තිබුණි. ප්‍රහාරයෙන් ශ්‍රී ලංකා යුද හමුදාවේ WMZ සංග්‍රාමික රථයට සහ ඊට පිටුපසින් පැමිණි අනෙකුත් සංග්‍රාමික රථයකට ද හානි සිදු විය. එක්සත් ජාතින්ගේ මහලේකම් ගුටියරස් මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, ප්‍රහාරයෙන් මියගිය හමුදා සාමාජිකයින්ගේ පවුල් වෙත සහ ශ්‍රී ලංකා රජය වෙත තම කණස්සල්ල පළ කරන බවයි. එක්සත් ජාතින්ගේ සාම සාධක හමුදා ඉලක්ක කර ප්‍රහාර එල්ල කිරීම ජාත්‍යන්තර නීතියට අනුව යුද අපරාධයක් බව පෙන්වා දෙන එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා ප්‍රහාරයට වගකිවයුතු අපරාධකරුවන් කඩිනමින් නීතිය හමුවට පැමිණවීම සඳහා වහාක්‍රියා කරන්නැයි මාලි බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේ ය. මේ අතර එක්සත් ජාතින්ගේ ආරක්ෂක මණ්ඩලය ද මේ සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් පවත්වන ලෙස මාලි රාජ්‍යයෙන් ඉල්ලා තිබේ. ප්‍රහාරයෙන් මියගිය ශ්‍රී ලාංකික හමුදා සාමාජිකයින්ගේ සිරුරු කඩිනමින් දිවයිනට ගෙන ඒමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා සඳහන් කළේ ය.