මන්නාරම සමූහ මිනී වළේ අස්ථි කොටස් අමෙරිකාවේ බීටා ඇනලිටික්ස් ආයතනයට භාර දෙයි

by Staff writer 26-01-2019 | 8:33 PM
COLOMBO (News 1st) - මන්නාරම සමූහ මිනී වළේ කැණීම්වලදී ලබා ගත් අස්ථි කොටස් 06 අමෙරිකාවේ ෆ්ලොරීඩා ප්‍රාන්තයේ ඇති බීටා ඇනලිටික්ස් ආයතනයට ඊයේ භාර දුන්නේ ය. ඒ, කාබන් නීර්ණය පරීක්ෂණය සඳහායි. මෙහිදී ලබා ගත් අස්ථි කොටස් කිනම් කාල සීමාවකට අයත් ද යන්න පරීක්ෂණ කිරීමට නියමිත ය. මෙලෙස රැගෙන ගිය අස්ථි කොටස් අතර පාදයේ කළවා කොටසේ අස්ථි හා දත් ද ඇතුළත් ය. කාබන් නීර්ණය පරීක්ෂණයේ වාර්තාව සති තුනකින් පමණ ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. අධිකරණ වෛද්‍ය සමින්ද රාජපක්ෂ , අතුරුදන් වූවන්ගේ කාර්යාලයේ කොමසාරිස් මිරාක් රහීම් ඇතුළු කණ්ඩායම අමෙරිකාවට ගොස් මෙම අස්ථි කොටස් බීටා ඇනලිටික්ස් ආයතනය වෙත භාර දී තිබේ. අතුරුදන් වූවන්ගේ ඥාතීන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන් වන වී. නිරංජන්, රනීතා මයුරන් යන පිරිස ද එම කණ්ඩායමට ඇතුළත් ය.