පාර්ලිමේන්තු ගැටුම සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් 59 දෙනෙකුට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නැයි නිර්දේශ

by Staff writer 26-01-2019 | 2:11 PM

COLOMBO (News 1st) - පසුගිය වසරේ නොවැම්බර් මස 14, 15 සහ 16 යන දිනවල පාර්ලිමේන්තුවේ ඇති වූ ගැටුම්කාරී තත්ත්වයට සම්බන්ධ මන්ත්‍රීවරු 59 ක් පිළිබඳව ක්‍රියාමාර්ගගත යුතු බව ඒ සඳහා පත්කළ විමර්ශන කමිටුව කථානායකවරයාට ලබාදුන් වාර්තාවේ සඳහන් වන බව බීබීසි ලෝක සේවය වාර්තා කරයි.

නොවැම්බර් මස 14, 15 සහ 16 දිනවල පාර්ලිමේන්තුවේ සිදු වූ ගැටුම්කාරී තත්ත්වය පිළිබඳව විමර්ශනය කිරීම සඳහා කථානායක කරූ ජයසුරිය විසින් නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරිගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කළේ ය. එහි සමාජිකයින් වූයේ රංජිත් මද්දුමබණ්ඩාර, චමල් රාජපක්ෂ,චන්ද්‍රසිරි ගජධීර, බිමල් රත්නායක, මාවෙයි සේනාධිරාජා යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වේ. කෙසේ නමුත් එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන චමල් රාජපක්ෂ හා චන්ද්‍රසිරි ගජධීර යන මන්ත්‍රීවරුන් එම කමිටුවේ කටයුතුවලට සම්බන්ධවීම ප්‍රතික්ෂේප කළ බව බීබීසී වාර්තාවේ දැක්විය. මෙම කමිටුව සිය වාර්තාව ඉදිරිපත් කර ඇත්තේ, අදාළ දින 3 තුළ සිදු වූ සිදුවීම් පාර්ලිමේන්තු සභා ගැබ තුළ ඇති කැමරාවලින් සහ සිදුවීම් වීඩියෝගත කළ විද්‍යුත් මාධ්‍යවලින් ලබාගත් සංස්කරණය නොකළ දර්ශන නැරඹීමෙන් අනතුරුවයි. ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 59 දෙනෙකු පාර්ලිමේන්තු (බලතළ හා වරප්‍රසාද) පනතේ වගන්තිවලට එරෙහිව කටයුතු කර ඇති බවට වාර්තාවෙන් චෝදනා කර තිබේ. වාර්තාවෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් 54 කගේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු 4 දෙනෙකුගේ සහ ජනතා විමුක්ති පෙරමුණේ එක් මන්ත්‍රීවරයෙකුගේ නම් එම වාර්තාවේ සඳහන් බව බීබීසී ලෝක සේවය සඳහන් කළේ ය. බීබීසී වාර්තාවේ දැක්වෙන්නේ, මෙම මන්ත්‍රීවරුන් 59 දෙනා අතරින් විවිධ චෝදනා යටතේ මෙම වාර්තාවේ වැඩිම වාරයක් නම සඳහන් වන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර මහතාගේ ය. චෝදනා 12 කට ඔහුගේ නම සඳහන් වී ඇති අතර ඉන් අනතුරුව වැඩිම චෝදනා එල්ල වී තිබෙන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ පද්ම උදයශාන්ත යන මන්ත්‍රීවරුන් දෙදෙනාට බව බීබීසී වාර්තාවේ සඳහන් විය. ඒ අනුව කථානායකවරයාගේ මයික්‍රෆෝනය කඩා දැමීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම සහ ආනන්ද අලුත්ගමගේ යන මහත්වරුන්ටත් කථානායකවරයාට ජලය ගැසීම, කුණු බාල්දියකින් දමා ගැසීම, පොතකින් දමා ගැසීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ මහතාටත් කමිටුව මගින් චෝදනා එල්ල කර තිබේ. මීට අමතරව කථානායකවරයාට වතුර බෝතලයකින් දමා ගැසීම සමබන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාටත් කථානායකවරයාගේ අසුනට ජලය වත්කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර මහතාටත් පිහියක් වැනි යමක් අත දැරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම සහ රන්ජන් රාමනායක මහත්වරුන්ටත් මෙම කමිටුව මගින් චෝදනා එල්ල කර අවශ්‍ය නිර්දේශ ලබාදී ඇති බව බීබීසි ය වාර්තා කළේ ය. මෙම දින තුන තුළදී සිදු වූ දේපළ හානිය, බදු නොමැතිව රුපියල් 325,000 ක් ලෙස තක්සේරු දෙපාර්තමේන්තුව ඇස්තමේන්තු කර ඇති බව ද අදාළ කමිටුව කථානායකවරයා වෙත ඉදිරිපත් කළ වාර්තාවේ සඳහන් වේ. විමර්ශන කමිටුව පසුගිය අඟහරුවාදා කථානායක කරූ ජයසූරිය වෙත ලබාදුන් එම වාර්තාව ඉදිරි කටයුතු සඳහා එය නීතිපතිවරයාට යොමු කිරීමට නියමිතය.