අමෙරිකානු ආණ්ඩුව යළි සක්‍රීය වෙයි

දින 35 කට පසු අමෙරිකානු ආණ්ඩුව යළි සක්‍රීය වෙයි

by Staff writer 26-01-2019 | 8:22 AM

අර්ධ වශයෙන් අක්‍රීයව පැවති අමෙරිකානු ආණ්ඩුව යළි සක්‍රීය කිරීම සඳහා අරමුදල් සැපයීමේ ගිවිසුමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තබා තිබේ.

ඒ, අමෙරිකානු ආණ්ඩුව බිඳ වැටී දින 35 කට පසුවයි. ඒ අනුව පෙබරවාරී 15 වැනි දා දක්වා ආණ්ඩුව පවත්වාගෙන යාමට අරමුදල් සැපයීමේ ගිවිසුමට ජනාධිපතිවරයා අත්සන් තබා ඇත. ධවල මන්දිරයේ රෝස උද්‍යානයේදී මාධ්‍ය අමතමින් ඔහු සඳහන් කළේ, මෙය අමෙරිකානු ඉතිහාසයේ සුවිශේෂි අවස්ථාවක් බවයි. මේ යටතේ වැටුප් අහිමිව සිටි ෆෙඩරල් සේවකයින් ලක්ෂ 8 කට යළි වැටුප් හිමිවනු ඇති. ලබන 15 වැනි දා දක්වා ආණ්ඩුව පවත්වාගෙන යාමට අරමුදල් සැපයීමේ ගිවිසුමට ජනපති ට්‍රම්ප් අත්සන් තැබුව ද මෙක්සිකෝ දේශසීමාව වටා පවුරක් ඉදිකිරීමේ යෝජනාව මෙතෙක් ඔහු බැහැර කර නොමැත. අමෙරිකානු ජනාධිපතිවරයා පැවසූවේ, ලබන 15 වැනි දා වන විට කොංග්‍රසය ඒ සම්බන්ධයෙන් නිසි තීරණයක් නොගතහොත් යළි ආණ්ඩුව අක්‍රීය තත්ත්වයට පත්වනු ඇති බවයි. මෙක්සිකෝ පවුර ඉදිකිරීමට වෙන් කළ යුතු මුදල අමෙරිකානු ඩොලර් බිලියන 5.7 ක්. එම මුදල ලබානොදෙන්නේ නම් නිශේධ බලය භාවිත කර ඊට අවශ්‍ය අරමුදල් සපයා ගන්නා බවට ද ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවා තිබෙනවා.