සේනා ඇඹිලිපිටියටත් යයි

සේනා ඇඹිලිපිටියටත් යයි

by Staff writer 25-01-2019 | 11:57 AM
COLOMBO (News 1st) - ශ්‍රී ලංකාවට දැඩි ලෙස බලපා ඇති සේනා දළඹු උවදුර පිළිබඳව එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය නිවේදනයක් නිකුත් කර තිබේ. එහි දැක්වෙන්නේ දළඹු උවදුර කළමනාකරණය පිළිබඳව දැනුවත් වීම, මේ අවස්ථාවේ අත්‍යවශ්‍ය කරුණක් බව ය. සේනා දළඹුවා පිළිබඳව පසුබිම් තොරතුරු සහ සියලු දත්ත මෙරට කෘෂිකර්ම අමාත්‍යංශයට දැනටමත් ලබා දී ඇතැයි එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය පවසයි. එම සංවිධානය පෙන්වා දෙන්නේ, දර්දනය සඳහා ඒකාබද්ධ කෘමි කළමනාකරණ ව්‍යාපෘතියක් ඉතා වැදගත් බව ය. සේනා දළඹු උවදුර අවසන් වන තෙක් ශ්‍රී ලංකාවට සහයෝගය ලබා දීමට කටයුතු කරන බව ද අදාළ නිවේදනයේ සඳහන් ය. මේ අතර සේනා දළඹු උවදුර ඇඹිලිපිටියේ ගොවි බිම් වෙතත් පැතිර ගොස් තිබේ. ඇඹිලිපිටිය කොළඹගේආර මන්චිවත්ත ප්‍රදේශයේ බඩ ඉරිඟු වගා බිම් රැසක් පුරා මේ වන විටත් සේනා දළඹුවන් ව්‍යාප්ත වී අවසන් ය. සේනා දළඹුවන් ව්‍යාප්ත වූ ගොවි බිම් නිරීක්ෂණ කිරීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ඇඹිලිපිටිය කාර්යාලයේ කෘෂි නිලධාරීහු ඊයේ සංචාරයක ද නිරත වූහ. එහිදී සේනා දළඹු උවදුරෙන් මුළුමනින්ම විනාශ වූ අක්කර එකහමාරක පමණ බඩ ඉරිඟු හේනක් ද කෘෂි නිලධාරීන්ගේ නිරීක්ෂණයට ලක් විය. කෘෂි නිලධාරීන් එහිදී උපදෙස් ලබා දී ඇත්තේ, සේනා දළඹු වසංගතයට ගොදුරු වූ හේන් කඩිනමින් ගිනි තබා විනාශ කරන ලෙස ය.