සිංගප්පූරු ගිවිසුමේ ලංකාව පැත්තෙන් අඩුපාඩු කිහිපයක් සිදු ව ඇති බව ජනපති කියයි

by Staff writer 25-01-2019 | 4:33 PM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකාව හා සිංගප්පූරුව අතර අත්සන් තබා ඇති නිදහස් වෙළෙඳ ගිවිසුමේ ශ්‍රී ලංකා පාර්ශවයෙන් අඩුපාඩු කිහිපයක් සිදු ව තිබෙන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිතුමා මේ බව සඳහන් කර ඇත්තේ, සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී සියැන් ලුන්ග් මහතා අද දහවල් හමු වූ අවස්ථාවේදී ය. ගිවිසුම සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන කිහිපයක් සිදු කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපතිතුමා එහිදී පැවසුවේ ය. ඉදිරියේදී ඒ පිළිබඳව කටයුතු කිරීමේ වැදගත්කම ද ජනාධිපතිතුමා මෙම හමුවේදී පෙන්වා දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කර තිබේ. දෙරට අතර පවතින වෙළෙඳ සංචාරක හා කර්මාන්ත ක්ෂේත්‍රයේ සබඳතා තවදුරටත් ඉහළ නංවා ගැනීම පිළිබඳව ද මෙහිදී නායකයින්ගේ විශේෂ සාකච්ඡාවට බඳුන් විය. එමෙන්ම ලෝකයටම තර්ජනයක් වී ඇති මත්ද්‍රව්‍ය අභියෝගය ජය ගැනීම සඳහා එක් ව කටයුතු කිරීම පිළිබඳව ද නායකයින් දෙපළගේ අවධානයට යොමු වී ඇති අතර මත්උවදුර මැඩලීම සඳහා ජනාධිපතිතුමා ඇතුළු රජය ගෙන යන වැඩපිළිවෙළට උපරිම සහාය ලබාදෙන බව ද සිංගප්පුරු අග්‍රාමාත්‍යවරයා මෙහිදී සහතික වී තිබේ. මේ අතර එක්සත් ජාතින්ගේ පරිසර කමිටුවේ සිව්වැනි සැසිවාරයේ සභාපතිවරයා වන ඇස්ටෝනියාවේ පරිසර අමාත්‍යවරයා ද අද ජනාධිපතිතුමා හමුවිය. පරිසරය ආරක්ෂා කර ගනිමින් තිරසර සංවර්ධන ඉලක්ක ජය ගැනීම සඳහා ජනාධිපතිතුමාගේ මගපෙන්වීමෙන් ලක් රජය ගෙන යන වැඩපිළිවෙළ මෙහිදී ඇස්ටෝනියා පරිසර අමාත්‍යවරයාගේ පැසසුමට ලක් ව තිබේ. ඔහු මෙම හමුවේදී ලබන මාර්තු මාසයේදී නයිරෝබි නුවර පැවැත්වෙන එක්සත් ජාතින්ගේ පරිසර සැසියේ විශේෂ ආරාධිත අමුත්තෙකු ලෙස සහභාගී වන ලෙස ජනාධිපතිතුමාට ඇරයුම් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය.