ට්‍රම්ප් පරිපාලනය දැඩි තීරණයක

වෙනිසුවෙලානු ජනපතිගේ සියලු ම ආදායම් මාර්ග කපා හැරීමට ට්‍රම්ප් පරිපාලනය දැඩි තීරණයක

by Staff writer 25-01-2019 | 9:24 AM
(News 1st) - වෙනිසුවෙලානු ජනාධිපති නිකලස් මධුරෝගේ සියලු ම ආදායම් මාර්ග කපා හැරීමට ට්‍රම්ප් පරිපාලනය තීරණය කර තිබේ. ඒ, අමෙරිකාව සමග සියලු රාජ්‍ය තාන්ත්‍රික සබඳතා බිඳ දමන බවට වෙනිසුවෙලානු ජනාධිපති නිකලස් මධුරෝ කළ ප්‍රකාශය හේතුවෙනි. අමෙරිකාව වෙනිසුවෙලාවේ විපක්ෂය සමග එක්ව තමන්ට එරෙහිව කුමන්ත්‍රණ කිරීමට සැලසුම් කරන බවට චෝදනා කළ වෙනිසුවෙලානු ජනාධිපතිවරයා, එරට අමෙරිකානු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්ට වෙනිසුවෙලාවෙන් පිටවීමට පැය 72ක කාලයක් ලබා දුන්නේ ය. වෙනිසුවෙලානු විපක්ෂ නායක මෙන්ම එරට කොංග්‍රස් මණ්ඩලයේ ප්‍රධානියා වන ජුවාන් ගුවයිඩෝ තමන් වෙනිසුවෙලාවේ අන්තර්වාර ජනාධිපතිවරයා බවට කළ ප්‍රකාශය අමෙරිකානු ජනාධිපතිවරයා පිළිගැනීමෙන් පසු නිකලස් මධුරෝ මෙම පියවර ගනු ලැබී ය. ජුවාන් ගුවයිඩෝ තමන් වෙනිසුවෙලාවේ අන්තර්වාර ජනාධිපතිවරයා බව පැවසුවේ, අමෙරිකාව සහ ලතින් අමෙරිකානු රටවල් රැසක මෙන්ම යුරෝපා සංගමයේ ද සහයෝගය හිමි කර ගනිමිනි. සියලු යුරෝපා රටවලට වෙනිසුවෙලාවේ නව අන්තර්වාර ජනාධිපතිවරයාට සහය පළ කරන ලෙස පවසමින් යුරෝපා කවුන්සිලයේ සභාපති ඩොනල්ඩ් ටස්ක් සඳහන් කළේ, නිකලස් මධුරෝ මෙන් නොව ජුවාන් ගුවයිඩෝට වෙනිසුවෙලානු ජනතාවගෙන් ප්‍රජාතන්ත්‍රවාදී වරමක් ලැබී ඇති බව ය. තමන් වෙනිසුවෙලාවේ අන්තර්වාර ජනාධිපතිවරයා බවට ගුවයිඩෝ කළ ප්‍රකාශයෙන් පසු ඔහුව නිල වශයෙන් පිළිගත් අමෙරිකානු ජනාධිපතිවරයා, කඩිනමින් මැතිවරණ පැවැත්වීමේ ගුවයිඩෝගේ සැලසුම් අගය කර තිබේ.