එ.ජා.ප.යේ නව තනතුරුවලට අනුමැතිය හිමි වෙයි

වෙනස් වූ එ.ජා.ප.යේ තනතුරු කිහිපයකට කෘත්‍යාධිකාරී මණ්ඩල අනුමැතිය

by Staff writer 25-01-2019 | 11:42 AM
COLOMBO (News 1st) - එක්සත් ජාතික පක්ෂයේ නව තනතුරු කිහිපයක් ඇතුළු ප්‍රධාන තනතුරු සඳහා පත් කළ සාමාජිකයින්ගේ නම් අනුමත වී තිබේ. ඒ, පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඊයේ රැස් වූ අවස්ථාවේදී ය. එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා නිව්ස්ෆස්ට් කළ විමසීමකදී පැවසුවේ, පක්ෂයේ නියෝජ්‍ය මහ ලේකම් ධූරය සඳහා අමාත්‍ය රුවන් විජේවර්ධන මහතාගේ නම එහිදී අනුමත වූ බව ය. පක්ෂයේ වෘත්තීය සමිති කටයුතු පිළිබඳ ලේකම්වරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා පත් කර තිබේ. නියෝජ්‍ය සංවිධායකවරුන් ලෙස පත් කර ඇත්තේ, අජිත් පී. පෙරේරා හා ජේ. සී. අලවතුවල යන පාර්ලිමේන්තු මන්තීවරුන් ය. අකිල විරාජ් කාරියවසම් මහතා පැවසුවේ, එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරුන් ලෙස ජෝන් අමරතුංග, රංජිත් මද්දුම බණ්ඩාර හා ලක්ෂ්මන් කිරිඇල්ල යන අමාත්‍යවරුන්ගේ නම් සඳහා කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව ය.