පොලීසියට එරෙහිව පැමිණිලි කිරීමේ හැකියාව අද සිට

පොලීසියට එරෙහිව අන්තර්ජාලය ඔස්සේ පැමිණිලි ඉදිරිපත් කිරීමේ හැකියාව අද සිට

by Staff writer 25-01-2019 | 7:32 AM
COLOMBO (News 1st) - පොලීසියට එරෙහිව අද සිට අන්තර්ජාලය ඔස්සේ පැමිණිලි ඉදිරිපත් කළ හැකි බව ජාතික පොලිස් කොමිසම පවසයි. එහි සභාපති ජී.එච්. මනතුංග මහතා සඳහන් කළේ, යොමු කරන පැමිණිලි සම්බන්ධයෙන් පසුවිපරම් කිරීමට ද අන්තර්ජාලය මගින් අවශ්‍ය පහසුකම් සලසා ඇති බව ය. ඒ අනුව ජාතික පොලිස් කොමිසමේ නිල වෙබ් අඩවිය වන www.npc.gov.lk වෙබ් අඩවියෙන් මහජන පැමිණිලි ඉදිරිපත් කළ හැකි ය. ජාතික පොලිස් කොමිසමේ සභාපති ජී.එච්. මනතුංග මහතා ප්‍රකාශ කළේ, මහජනතාව විසින් පොලීසියට ඉදිරිපත් කරන පැමිණිලි සම්බන්ධයෙන් ඇතැම් පොලිස් නිලධාරීන් පක්ෂග්‍රාහීව කටයුතු කරන බවට සහ පැමිණිලි විමර්ශන කටයුතු ප්‍රමාද වන බවට සිය කොමිසමට ලැබෙන පැමිණිලි ඉහළ ගොස් ඇති බව ය. වාර්ෂිකව එවැනි පැමිණිලි 500කට ආසන්න සංඛ්‍යාවක් ලැබෙන බව ද ඔහු ප්‍රකාශ කළේ ය. සභාපතිවරයා සඳහන් කළේ, පොලීසියට එරෙහිව පැමිණිලි භාර ගැනීම සඳහා පළාත් මට්ටමින් විශේෂ නියෝජිතයින් ද පත් කර ඇති බව ය. ඒ අනුව එම නිලධාරීන්ට සිය පැමිණිලි ඉදිරිපත් කිරීමට ද මහජනතාවට හැකියාව පවතී.