පතල් හා භූ විද්‍යා කාර්යංශයේ සභාපතිට තරයේ අවවාද

පතල් හා භූ විද්‍යා කාර්යංශයේ සභාපතිවරයාට විශේෂ මහාධිකරණයෙන් තරයේ අවවාද

by Staff writer 25-01-2019 | 1:31 PM
COLOMBO (News 1st) - වෘත්තියේ ගරුත්වය රැක ගනිමින් අධිකරණය තුළදී කටයුතු කිරීමට වගබලා ගන්නා ලෙස පතල් හා භූ විද්‍යා කාර්යංශයේ සභාපති ඩබ්ලිව්.එම්.ඒ.එස්. ඉද්දවෙල මහතාට විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය අද තරයේ අවවාද කළේ ය. ඉද්දවෙල මහතා, හිටපු ආරක්ෂ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු 7 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවේ පැමිණිල්ලේ 67 වන සාක්ෂිකරු ය. පැමිණිල්ල මෙහෙයවන නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා කළ කරුණු දැක්වීම සලකා බැලූ විනිසුරු මඩුල්ල එලෙස අවවාද කළේ, එම නිලධාරියා අධිකරණයට කැඳවා ඇත්තේ පැමිණිල්ලේ සාක්ෂිකරුවෙකු ලෙස, සාක්ෂි ලබා දීමට මිස, විත්තිකරුවන්ට අධිකරණය තුළදී ආචාර සමාචාර පවත්වා සතුටු සාමිච්චියේ යෙදීමට නොවන බව පෙන්වා දෙමිනි. නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා එහිදී අධිකරණයට පෙන්වා දුන්නේ, ඉද්දවෙල මහතා පසුගිය 22 වන දා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අධිකරණ ශාලාව තුළට ඇතුළු වන අවස්ථාවේදී ඔහු අසළට දිව ගොස් අතට අත දී ආචාර සමාචාර පවත්වා ඇති බැවින් එලෙස අධිකරණ ශාලාව තුළ හැසිරීම ස්වාධීන සාක්ෂිකරුවෙකුගෙන් අපේක්ෂා නොකරන බව ය. පැමිණිල්ල කටයුතු කරනුයේ පුද්ගලයින්ගේ තරාතිරම හෝ ඔවුන් දරණ තනතුරු අනුව නොවන බව එහිදී දිලීප පිරීස් මහතා අධිකරණයට පෙන්වා දුන්නේ ය. එම සාක්ෂිකරුට ලබන 2 වන දා සිට 4 වන දා දක්වා පුද්ගලික සංචාරයක් සඳහා ඉන්දියාවට යාමට විනිසුරු මඩුල්ල අද අවසර ලබා දුන්නේ ය. මේ අතර පැමිණිල්ලේ 53 වන සාක්ෂිකරු ලෙස නම් කර ඇති ඉඩම් ගොඩ කිරීමේ සංස්ථාවේ අධ්‍යක්ෂකවරයෙකු ලෙස කටයුතු කරන සුරේෂ් බණ්ඩාර අතපත්තු මහතාට ද විදේශගත වීමට අවසර ලබා දුන්නේ, රුපියල් ලක්ෂ 15 බැගින් වූ ශරීර ඇප 2ක් මත ය. එමෙන් ම නඩුවේ පැමිණිල්ලේ 3 වන සාක්ෂිකරු ලෙස නම් කර ඇති විදුලිබල මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී රොහාන් ප්‍රණීත සෙනවිරත්න මහතාට පෙබරවාරි 16 වන දින සිට 23 වන දා දක්වා ජපානයට යාමට ද අධිකරණය අනුමැතිය ලබා දුන්නේ ය. නඩුව ලබන 31 වන දා යළි කැඳවීමට නියමිත ය.