නව නිපැයුම්කරුවන්ට දොරටු විවර වන ජ'පුර සරසවියේ දැවැන්ත ප්‍රදර්ශනය අප්‍රේල් මාසයේදී

by Sagarika Chathumali 25-01-2019 | 9:44 PM

COLOMBO (News 1st) - 60 වසරක අභිමානවත් ඉතිහාසයකට හිමිකම් කියන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය මේ වන විට වෛද්‍ය විද්‍යා, ව්‍යවහාරික විද්‍යා, කළමනාකරණ, වාණිජ විද්‍යා, කලා, ඉංජිනේරු සහ තාක්ෂණ විද්‍යා ක්ෂේත්‍ර තුළින් කීර්තියක් අත්කරගෙන සිටි.

විවිධ ක්ෂේත්‍රයන්හි නවෝත්පාදන සහ නව පර්යේෂණයන් සිදු කිරීම මෙන්ම වැඩි දියුණු කිරීම කෙරෙහි විශ්වවිද්‍යාලය ප්‍රතිපත්මය වශයෙන් සක්‍රීය දායකත්වයක් ලබාදෙමින් සිටි. ඒ අනුව විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන නවෝත්පාදන හා නව නිර්මාණ ඒකරාශී කරමින් දැවැන්ත ප්‍රදර්ශනයක් පැවැත්වීමට විශ්වවිද්‍යාලය මේ වන විට කටයුතු සූදානම් කරමින් සිටි. එළඹෙන අප්‍රේල් 2 වන දා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වෙන මෙම දැවැන්ත ප්‍රදර්ශනයේදී නව නිපැයුම් හා නවෝත්පාදන එළිදැක්වීමට නියමිතය. මේ පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් අද පදනම් ආයතනයේදී පැවැත් විණි.