දෙහිවල මත්ද්‍රව්‍ය ජාවාරම: තවත් තොරතුරු ‍හෙළිවෙයි

දෙහිවලදී හසු වූ මත්ද්‍රව්‍ය ජාවාරම බංග්ලාදේශයේ සිට මෙහෙයවා ඇති බවට තොරතුරු

by Staff writer 25-01-2019 | 6:56 AM
COLOMBO (News 1st) - පසුගියදා දෙහිවලදී නීතියේ රැහැනට හසු කර ගත් මත්ද්‍රව්‍ය ජාවාරම බංග්ලාදේශයේ සිට මෙහෙයවා ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ. පොලීසිය සඳහන් කළේ, ජාවාරමට සම්බන්ධ බංග්ලාදේශ සැකකාරියට අමතරව මෙම ජාවාරම මෙහෙයවූ ප්‍රධාන සැකකරුවෙකු පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇති බව ය. මේ වන විට බංග්ලාදේශයේ සැඟ වී සිටින සැකකාර කාන්තාව මෙහෙයවා ඇත්තේ ද මෙම සැකකරු බව මූලික විමර්ශනවලදී තහවුරු වූ බව පොලීසිය ප්‍රකාශ කළේ ය. මෙම මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් සොයා බැලීමට මෙරටට පැමිණි බංග්ලාදේශ විශේෂ විමර්ශන කණ්ඩායම මෙරට රැඳවුම් භාරයේ සිටින සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලින් පසු මෙම තොරතුරු අනාවරණය කර ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවා බංග්ලාදේශයට පළා ගොස් සිටින සැකකාරිය සහ බංග්ලාදේශයේ සිට ජාවාරම මෙහෙයවූ සැකකරු අත්අඩංගුවට ගැනීමට එම විමර්ශන කණ්ඩායම මෙහෙයුම් ආරම්භ කර ඇති බව ය. මේ අතර පසුගිය අඟහරුවාදා කොල්ලුපිටිය නිවාස සංකීර්ණයක් තුළ පවත්වා ගෙන ගිය මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඇෆ්ගන් ජාතිකයා ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බවට තහවුරු වී තිබේ. පොලීසිය සඳහන් කළේ, සැකකරු සන්තකයේ තවත් විශාල මත්ද්‍රව්‍ය තොග පැවතිය හැකි බවට සැක කරන බව ය. ඒ සම්බන්ධයෙන් ඔහුගෙන් ප්‍රශ්න කිරීම් සිදු වන බව ද පොලීසිය ප්‍රකාශ කළේ ය. මේ අතර පසුගිය ඔක්තෝබර් මාසයේ සිට ජනවාරි 20 වන දා තෙක් මෙරටින් සොයා ගෙන ඇති හෙරොයින් ප්‍රමාණයේ බර කිලෝග්‍රෑම් 800කට අධික ය. එම කාල සීමාවේ මත්ද්‍රව්‍ය සිදු වීම් සම්බන්ධයෙන් සැකකරුවන් 5000කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඉන් 10 දෙනෙකු පමණ විදෙස් ජාතිකයින් බව ද පොලීසිය සඳහන් කළේ ය. පොලීසිය පැවසුවේ, මුහුදු මගින් මෙරටට වැඩි වශයෙන් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කෙරෙන අතර, එම තත්ත්වය පාලනයට විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව ය.