සේනා වැනසූ වගා බිම්වල හානි තක්සේරුව ඇරඹේ

සේනා වැනසූ වගා බිම්වල හානි තක්සේරුව ඇරඹේ

by Staff writer 24-01-2019 | 6:36 PM
COLOMBO (News 1st) : සේනා දළඹු වසංගතයෙන් වගා බිම්වලට සිදුවු හානිය තක්සේරු කිරීම අද අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කෙරිණ. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ සේනා දළඹු මර්දන විශේෂ ඒකකයේ ප්‍රධානී අනුර විජේතුංග මහතා සඳහන් කළේ, ඒ සඳහා ග්‍රාම සේවා මට්ටමින් නිලධාරී කණ්ඩායම් පත් කර ඇති බවයි. මේ අතර සේනා දළඹු වසංගතය පාලනය කළ නොහැකි පරිදි ව්‍යාප්ත වෙමින් ඇති වගාබිම් වෙත කෘෂි රාසායන යෙදීම සඳහා සහනාධාර ලබා දීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ අනුර විජේතුංග මහතා සඳහන් කළේ, එවැනි වගාබිම් සම්බන්ධයෙන් කඩිනමින්, ප්‍රදේශය භාර කෘෂි නිලධාරීන්ට දැනුම් දිය යුතු බවයි. මේ අතර මහවැලි සී කලාපයේ සේනා දළඹූවා හේතුවෙන් විනාශ වූ ගොවි බිම් නිරීක්ෂණය කිරීමේ හා සංගණනය කිරීමේ කටයුතු ද අද සිදුකෙරිණ. මේ අතර නුවරඑළිය අඹගමුව ප්‍රදේශයේ බඩ ඉරිඟු වගාවකින් සේනා දළඹුවන් සොයාගෙන තිබේ. අප වාර්තාකරු සඳහන් කළේ, කෘෂිකර්ම නිලධාරීන් පැමිණ ඒ පිළිබඳව විමර්ශන සිදුකළ බවයි.