ශ්‍රී ලංකා - ඔස්ට්‍රේලියා ටෙස්ට් තරගාවලිය අද ඇරඹේ

ශ්‍රී ලංකා - ඔස්ට්‍රේලියා ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය අද ඇරඹෙයි

by Staff writer 24-01-2019 | 7:38 AM

COLOMBO (News 1st) - තරග දෙකකින් සමන්විත සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමේ හා ඔස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායම අතර ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය අද ආරම්භ වේ.

දෙරට අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය සුප්‍රසිද්ධ ගැබා ක්‍රීඩාංගණයේදී අද ආරම්භවීමට නියමිතය. 1982 වසරේ සිට ඔස්ට්‍රේලියා – ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය තුළ මේ දක්වා අන්තර්ජාතික ටෙස්ට් ක්‍රිකට් තරග 29 කදී ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව එකිනෙකා මුණගැසී තිබේ. ඉන් තරග 14 ක ජයග්‍රහණය ඔස්ට්‍රේලියාව හිමිකරගෙන ඇති අතර ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කර ඇති තරග ගණන 4 කි. තව ත් ටෙස්ට් තරග 8 ක් ජය පරාජයෙන් තොරව අවසන් විය. ඔස්ට්‍රේලියානු බිමේ දී ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර ටෙස්ට් තරගාවලි 6 ක් පවත්වා ඇති අතර එම තරගාවලි 6 ම ජයග්‍රහණය කිරීමට ඔස්ට්‍රේලියානුවන් සමත්වීම විශේෂත්වයකි. කෙසේ වෙතත් ඔස්ට්‍රේලියාව තුළ දී ශ්‍රී ලංකාව එකඳු ටෙස්ට් තරගයක් හෝ ජය ගැනීමට සමත් වී නොමැත. 2012 - 2013 වසරේදී ඔස්ට්‍රේලියාව හා ශ්‍රී ලංකාව අතර තරග 3 කින් සමන්විත ටෙස්ට් තරගාවලියක් ඔස්ට්‍රේලියාවේ සත්කාරකත්වයෙන් පැවැති අතර එම තරගාවලිය තරග 3 ට 0 ක් ලෙස ජය ගත්තේ ඔස්ට්‍රේලියාවයි. අවසන් වරට 2016 වසරේදී වෝන්- මුරලිදරන් කුසලානය වෙනුවෙන් පැවැති තරග 3 කින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය තරග 3 ට 0 ක් ලෙස ජය ගත්තේ ඔස්ට්‍රේලියාවයි. ප්‍රේක්ෂකයින් 37,000 කට පමණ අසුන්ගත හැකි අද තරගය පැවැත්වෙන සුප්‍රසිද්ධ ගැබා ක්‍රීඩාංගණයේදී 2017 වර්ෂයේ නොවැම්බර් මාසයට පසුව ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් තරගයක් පැවැත්වෙන පළමු අවස්ථාව වන්නේ මෙයයි. මෙම තණතීරු මත ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර ටෙස්ට් ක්‍රිකට් තරග දෙකක් පවත්වා තිබෙන අතර එම තරග දෙකෙන් එක් තරගයක් ශ්‍රී ලංකාව පරාජය වී ඇති අතර අනෙක් තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය. දිවා රාත්‍රී තරගයක් වන මෙය අද උදෑසන 8. 30ට ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ. ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් මාධ්‍ය හමුවේ පැවසුවේ, මෙම තරගය ජය ගැනීම සඳහා කණ්ඩායමේ ක්‍රීඩකයින් උපරිම කැපවීමෙන් කටයුතු කරන බවටයි. මේ අතර ආබාධයකට ලක් වූ නුවන් ප්‍රදීප් මෙම තරගයට එක් නොවන අතර අද තරගයේදී ලහිරු තිරිමාන්න සහ දිමුත් කරුණාරත්න ආරම්භක පිතිකරුවන් ලෙස කටයුතු කරනු ඇති බවට වාර්තා වේ. ඔස්ට්‍රේලියා කණ්ඩායමෙන් ලැබෙන වාර්තා පැවසූවේ, මාකස් හැරිස් සහ ජෝ බර්න්ස් එම කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් ලෙස කටයුතු කරනු ඇති බවයි. නවක ක්‍රීඩකයින් වන කර්ටිස් පැටර්සන් සහ ජායි රිචර්ඩ්සන් ද ඔස්ට්‍රේලියා සංචිතයට කැඳවා තිබේ.