වීරවංශගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා පෙත්සමක්

විමල් වීරවංශගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා පෙත්සමක්

by Staff writer 24-01-2019 | 6:58 PM
COLOMBO (News 1st) : ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට අද අභියාචනා පෙත්සමක් ගොනු කළේ ය. ඒ - නැත්ත වෙනුවට ඇත්ත - ග්‍රන්ථය සම්බන්ධයෙන් තමාට එරෙහිව කොළඹ වාණිජ මහාධිකරණ විසින් ලබාදුන් තීන්දුව අවලංගු කරන ලෙස ඉල්ලමිනි. එම අභියාචනා පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කිරීම සඳහා විත්තිකාර මන්ත්‍රිවරයාගේ නීතිඥවරුන් අද එය කොළඹ වාණිජ මහාධිකරණයට භාරදුන්නේ ය. 2008 වසරේ ජුනි මස 24 වන දා ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා විසින් ගොනුකර තිබු නඩුවක් විභාග කළ කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු රුවන් ෆර්ඩිනැන්ඩු මහතා විසින් පසුගිය 11 වන දා තීන්දු කළේ විත්තිකාර විමල් වීරවංශ මහතා පැමිණිලිකාර ටිල්වින් සිල්වා මහතාගේ බුද්ධිමය දේපළ පනත යටතේ ගැනෙන අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවටයි. ඒ අනුව බුද්ධිමය දේපළ උල්ලංඝනය කිරීමේ වරදට රුපියල් ලක්ෂ 10 ක වන්දියක් ගෙවන ලෙස විමල් වීරවංශ මහතාට නියෝග කළේ ය. එම කෘතිය මුද්‍රණය කර අලෙවි කිරීමෙන් උපයන ලද මුදල ගණනය කර ව්‍යවස්ථාපිත අලාභ මුදලක් ගෙවන ලෙසත්, මුද්‍රණය කර ඇති කෘති විනාශ කරන ලෙසත් නඩු ගාස්තු ගෙවන ලෙසත් විමල් වීරවංශ මහතාට නියෝග කර තිබිණ.