තමන් අන්තර්වාර ජනාධිපති බවට ගුවයිඩෝගෙන් ප්‍රකාශයක්

තමන් අන්තර්වාර ජනපති බව වෙනිසුවෙලානු විපක්ෂ නායකවරයාගෙන් ප්‍රකාශයක්..!

by Staff writer 24-01-2019 | 8:03 AM

වෙනිසුවෙලාවේ විපක්ෂ නායක 35 හැවිරිදි ජුවාන් ගුවයිඩෝ තමන් එරට අන්තර්වාර ජනාධිපතිවරයා බව ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ, අමෙරිකාව සහ ලතින් අමෙරිකානු රටවල් රැසක මෙන් ම යුරෝපා සංගමයේ ද සහයෝගය හිමි කර ගනිමිනි. සියලු යුරෝපා රටවලට වෙනිසුවෙලාවේ නව අන්තර්වාර ජනාධිපතිවරයාට සහය පළ කරන ලෙස පවසමින් යුරෝපා කවුන්සිලයේ සභාපති ඩොනල්ඩ් ටස්ක් සඳහන් කළේ, නිකලස් මධූරෝ මෙන් නොව ජුවාන් ගුවයිඩෝට වෙනිසුවෙලානු ජනතාවගෙන් ප්‍රජාතන්ත්‍රවාදී වරමක් ලැබි ඇති බවයි. තමන් වෙනිසුවෙලාවේ අන්තර්වාර ජනාධිපතිවරයා බවට ගුවයිඩෝ කළ ප්‍රකාශයෙන් පසු ඔහුව නිල වශයෙන් පිළිගත් අමෙරිකානු ජනාධිපතිවරයා කඩිනමින් මැතිවරණ පැවැත්වීමේ ගුවයිඩෝගේ සැලසුම් අගය කළේ ය. ඉන් පසු කැනඩාව, බ්‍රසීලය, කොලොම්බියාව, චිලී, පේරු, ඉක්වදෝරය, ආජන්ටිනාව සහ පැරගුවේ යන රටවල් ද ජුවාන් ගුවයිඩෝ ට සහය පළ කර තිබුණි. නිකලස් මධූරෝ මේ මස මුලදී දෙවන වරටත් වෙනිසුවෙලාවේ ජනාධිපතිවරයා ලෙස දිවුරුම්දීමෙන් පසු එරට අර්බුදකාරී තත්ත්වය තවදුරටත් උත්සන්න විය. ඡන්ද විමසීමේදී අක්‍රමිකතා සිදුවනු ඇතැයි පවසමින් වෙනිසුවෙලා විපක්ෂය මෙම මැතිවරණය වර්ජනය කළ අතර විදේශික රටවල් මෙම මැතිවරණය සැලකුවේ දූෂිත ඡන්ද විමසීමක් ලෙසයි. ජනාධිපති නිකලස් මධුරෝගේ පාලනයට එරෙහිව ඊයේ පසුවරුවේ එරට කැරකස් අගනුවරට රැස් වූ පුද්ගලයන් දහස් ගණනක් විරෝධතාවල නිරත විය. එහිදී ජුවාන් ගුවයිඩෝ කියා සිටියේ, වෙනිසුවෙලාවේ විනිවිද පෙනෙන රජයක් නිර්මාණය කර එරට ආර්ථික අර්බුදයෙන් මුදා ගැනීමට කැපවන බවයි. මේ අතර රූපවාහිනිය ඔස්සේ ජනතාව ඇමතූ නිකල්ස් මධූරෝ කියා සිටියේ, අමෙරිකාව සමග එක් ව විපක්ෂය තමන්ට එරෙහිව කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක කරන බවයි. වොෂින්ටනයේ සිට වෙනිසුවෙලාව පාලනය කිරීමට අමෙරිකාව ප්‍රයත්න දරන බවට ද ඔහු වැඩිදුරටත් චෝදනා කළේ ය. කෙසේ වෙතත් වෙනිසුවෙලාවේ රාජ්‍ය පාලනයේ සිදු කෙරෙන වෙනස්කම් රඳා පවතින්නේ එරට ආරක්ෂක අංශ සහය පළ කරන පාර්ශවය මතයි. විදෙස් මාධ්‍ය වාර්තා කාළේ, එරට හමුදාව නිකලස් මධූරෝට සහය පළ කර ඇති බවයි. වෙනිසුවෙලාවේ ව්‍යවස්ථාව අනුව ජනාධිපති ධූරය හිස්වුවහොත් දින 30 ක් තුළ නව මැතිවරණයක් කැඳවීමට සිදුවන අතර එතෙක් කොංග්‍රස් මණ්ඩල ප්‍රධානියා එරට අන්තර්වාර ජනාධිපතිවරයා ලෙස කටයුතු කරනු ඇති.