කොල්ලුපිටියේ කොටු වූ හෙරොයින් ජාවාරම ගැන අනාවරණයක්

කොල්ලුපිටියේදී කොටු වූ හෙරොයින් ජාවාරම ටර්ක්මෙනිස්ථානයේ සිට මෙහෙයවා ඇති බවට අනාවරණයක්

by Staff writer 24-01-2019 | 6:21 AM

COLOMBO (News 1st) - කොල්ලුපිටිය්දී නීතියේ රැහැනට හසුකරගත් හෙරොයින් ජාවාරම ටර්ක්මෙනිස්ථානයේ සිට මෙහෙයවා ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.

පොලීසිය සඳහන් කළේ, අදාළ ජවාරමේ ප්‍රධානයින් ලෙස කටයුතු කළ ටර්ක්මෙනිස්ථාන ජාතිකයින් දෙදෙනෙකු පිළිබඳව මේ වන විට විමර්ශන ආරම්භ කර ඇති බවයි. කිලෝග්‍රෑම් 90 කට අධික හෙරොයින් සමග පෙරේදා (22) පස්වරුවේ කොල්ලුපිටිය සුපිරි නිවාස සංකීර්ණයකදී අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී මෙම කරුණු අනාවරණය විය. අදාළ හෙරොයින් නීති විරෝධිව බෝට්ටු මගින් මෙරටට ගෙන එන්නට ඇතැයි සැකකරන බව ද පරීක්ෂණ මෙහෙයවන ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ ය. ඔහු පැවසුවේ, මෙම ජාවාරම 2016 වසරේ සිට ඉතා සූක්ෂම ලෙස සිදුකර ඇති බවයි. මේ අතර ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 5 දෙනා ලබන 29 වැනි දා තෙක් රඳවා ප්‍රශ්න කිරීම සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ අවසර ලබා දුන්නේ ය. අත්අඩංගුවට ගත් අය අතර අමෙරිකානු ජාතිකයින් දෙදෙනෙකු සහ ඇෆ්ගන් ජාතිකයෙකු ද වනු ඇත. විමර්ශන නිලධාරීන් ඊයේ අධිකරණයට දැනුම් දුන්නේ, මෙම සිද්ධිය සම්බන්ධයෙන් දීර්ඝ විමර්ශනයක් කිරීමට අවශ්‍ය බවයි.