රැඳවියන්ට පහරදීම සම්බන්ධයෙන් පත් කළ කමිටු වාර්තාව

අඟුණුකොළපැලැස්ස රැඳවියන්ට පහරදීම සම්බන්ධයෙන් පත්කළ කමිටු වාර්තාව විෂය භාර ඇමතිවරියට

by Staff writer 24-01-2019 | 6:56 AM

COLOMBO (News 1st) - අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන්ට එහි නිලධාරීන් විසින් පහරදීම සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ බන්ධනාගාර දෙපාර්තමේන්තු කමිටුවේ වාර්තාව විෂය භාර අමාත්‍යවරිය වෙත භාර දී තිබේ.

බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණිය මහතාගේ ප්‍රධානත්වයෙන් පත්කළ කමිටුවට සමාජිකයින් තිදෙනෙකු ඇතුළත් ය. අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය සඳහන් කළේ, අදාළ වාර්තාව සිද්ධිය සම්බන්ධ නිලධාරීන් හා රැඳවියන් 40 දෙනෙකුට අධික පිරිසකගේ ප්‍රකාශ පදනම් කරගනිමින් සකස් කර ඇති බවයි. පහරදීම සිදුවන දර්ශන ඇතුළත CCTV වීඩියෝ පට මාධ්‍ය වෙත මුදා හැරීම සම්බන්ධයෙන් පොලීසිය මගින් විශේෂ පරීක්ෂණයක් පවත්වන ලෙස එම වාර්තාවෙන් ඔවුන් පෙන්වා දුන්හ. පහරදීමට සම්බන්ධ පුද්ගලයින්ට ආයතනික පටිපාටිය යටතේ, දඬුවම් ලබා දිය යුතු බව ද වාර්තාව මගින් නිර්දේශ කර තිබේ. මේ අතර අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යවරිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ දෙවන පරීක්ෂණ කමිටුව ද මේ වන විට විමර්ශන ආරම්භ කර තිබේ. එහි වාර්තාව ලබන සතිය ඇතුළත විෂයභාර අමාත්‍යවරියට ලැබීමට නියමිතයි. අදාළ කමිටුව ජනාධිපති ලේකම් කාර්යාලය, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සහ බන්ධනාගාර අමාත්‍යාංශ නිලධාරීන්ගෙන් සමන්විතයි.