සරත් එන්. සිල්වාට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නොතීසි

හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාට අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නොතීසි

by Staff writer 23-01-2019 | 12:07 PM
COLOMBO (News 1st) - අධිකරණයට අපහාස කිරීමේ චෝදනා එල්ල වී ඇති හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතාට ලබන 7 වන දා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි යැවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළේ ය. හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා විසින් 2018 දෙසැම්බර් 3 වන දා මරදානේ පැවති රැළියකදී අධිකරණයට අපහාස කර ඇති බව පවසමින් ඔහුට එරෙහිව නඩුවක් ගොනු කොට තිබිණි. ජ්‍යෙෂ්ඨ මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර, මහාචාර්ය හේවාවඩුගේ සිරිල්, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන යන තිදෙනා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පවරා තිබූ නඩුව අද කැඳවනු ලැබුවේ ය. විජිත් මලල්ගොඩ, මුර්දු ප්‍රනාන්දු, එස්. තුරේ රාජා යන විනිසුරු මඩුල්ල හමුවේ අද නඩුව කැඳවූ අවස්ථාවේදී වගඋත්තරකාර සරත් එන්. සිල්වා මහතා ද අධිකරණය හමුවේ පෙනී සිටියේ ය. කෙසේ වෙතත් ඔහු අධිකරණයට පැමිණ ඇත්තේ, මාධ්‍ය මගින් දැන ගත් තොරතුරු අනුව මිස නොතීසි ලැබීමෙන් නොවන බව ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රෝමේෂ් ද සිල්වා මහතා ප්‍ර‍කාශ කළේ ය. එම කරුණු දැක්වීම සලකා බැලූ විනිසුරු මඩුල්ල එම නියෝගය කළේ, සරත් එන්. සිල්වා මහතාට ලබන 7 වන දා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ය.