LTTE සාමාජිකයින් දෙදෙනෙකුට වසර 25ක සිර දඬුවමක්

LTTE හිටපු සාමාජිකයින් දෙදෙනෙකුට උතුරු මැද පළාත්බද මහාධිකරණයෙන් වසර 25ක සිර දඬුවමක්

by Staff writer 22-01-2019 | 4:23 PM
COLOMBO (News 1st) - ශ්‍රී ලංකා යුද හමුදාවේ ගජබා රෙජිමේන්තුවේ සේනා විධායකවරයාව සිටි කර්නල් ජයන්ත සුරවීර මහතා ඇතුළු 8 දෙනෙකු විල්පත්තුව ජාතික වනෝද්‍යානයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් දෙදෙනාට උතුරු මැද පළාත්බද මහාධිකරණය වසර 25 බැගින් වෙන් වෙන්ව බරපතළ වැඩ සහිත සිර දඬුවම් අද නියම කළේ ය. මෙලෙස බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම වූයේ, සූරියකාන්තන් ජෙයචන්ද්‍රන් නොහොත් උදයන් නොහොත් අයියන් සහ ශිව ප්‍රකාශන් ශිවශීලන් නොහොත් ඉලෙයියන් යන කොටි සංවිධානයේ හිටපු ප්‍රබල සාමාජිකයින් දෙදෙනෙකුට ය. උතුරු මැද පළාත්බද මහාධිකරණ විනිසුරු මහේෂ් වීරමන් මහතා මෙම නියෝගය කළේ, අදාළ විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව නීතිපතිවරයා අනුරාධපුර මහාධිකරණය හමුවේ වෙන් වෙන් වශයෙන් ගොනු කර තිබූ අධි චෝදනා 9න් 5කට ඔවුන් වරද පිළිගැනීමෙන් අනතුරුව ය. ඒ අනුව එක් චෝදනාවකට වසර 5 බැගින් නියම කෙරුණු විසි පස් වසරක සිර දඬුවම, වසර 5කින් ගෙවී යන ලෙස නියම කෙරිණි. විත්තිකරුවන්ට එරෙහිව ගොනු කර තිබූ 6, 7, 8 සහ 9 වන අධි චෝදනා විකල්ප චෝදනා ලෙස සලකා එම චෝදනා 4 න් ඔවුන් නිදොස් කොට නිදහස් කිරීමට ද මහාධිකරණ විනිසුරුවරයා එහිදී නියෝග කළේ ය. ශ්‍රී ලංකා යුද හමුදාවේ ගජබා රෙජිමේන්තුවේ සේනා විධායකවරයාව සිටි කර්නල් ජයන්ත සුරවීර මහතා ඇතුළු 8 දෙනෙකු විල්පත්තුව ජාතික වනෝද්‍යානයේදී වෙඩි තබා ඝාතනය කෙරුණේ, 2007 වසරේ මාර්තු මස 9 වන දා ය.