සේනා මැඩලීමට වැඩපිළිවෙළක් සකසන්නැයි උපදෙස්

සේනා මැඩලීමට ජාතික වැඩපිළිවෙළක් සකසන්නැයි ජනපතිගෙන් උපදෙස්

by Staff writer 22-01-2019 | 5:39 PM
COLOMBO (News 1st) - සේනා දළඹුවා මැඩලීම සඳහා දැඩි කැපවීමකින් හා කාර්යක්ෂමව කටයුතු කරන්නැයි, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අදාළ අංශවලට උපදෙස් දී තිබේ. යම් කාල රාමුවක් නිර්ණය කර ගනිමින් ජාතික වැඩසටහනක් ක්‍රියාවට නංවන ලෙසත්, රාජ්‍ය අංශයේ මෙන්ම පෞද්ගලික අංශයේ සහය ඇතිව ඒකාබද්ධ පළිබෝධ නාශක ක්‍රමවේදයක් ක්‍රියාවට නැංවීමටත්, ජනාධිපතිතුමා එහිදී උපදෙස් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය. ජනාධිපතිතුමා මේ උපදෙස් ලබා දුන්නේ, සේනා දළඹු විශේෂය ව්‍යාප්ත වීම හේතුවෙන් කෘෂිකර්මාන්තයට එල්ල වී ඇති තර්ජනයට මුහුණ දීම සඳහා ගත යුතු හදිසි පියවර පිළිබඳ සොයා බැලීමට අද පෙරවරුවේ පැවති සාකච්ඡාවකට එක්වෙමිනි. සේනා දළඹු මර්දනය සඳහා ජනාධිපති කාර්ය සාධක බලකායක් ද පිහිටුවමින් අවශය පියවර ක්‍රියාත්මක කරමින් සිටින අතර, එම බලකාය නිතිපතා රැස්වෙමින් මෙම හදිසි උවදුර මැඩලීමට කඩිනම් තීන්දු තීරණවලට එළැඹීමේ වැදගත්කම ද ජනාධිපතිතුමා එහිදී පෙන්වා දුන්නේ ය.