සේනා මර්දනයට විදෙස් සහය ‍ලබා ගැනීමට පියවර

සේනා මර්දනයට විදෙස් සහය ‍ලබා ගැනීමට පියවර

by Staff writer 22-01-2019 | 2:07 PM
COLOMBO (News 1st) : විමර්ශන සඳහා සේනා දළඹුවාගේ සාම්පල අමෙරිකානු විශ්වවිද්‍යාල වෙත යොමුකර ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ හා සේනා දළඹු මර්දන විශේෂ ඒකකයේ ප්‍රධානී අනුර විජේතුංග මහතා සඳහන් කළේ, සේනා දළඹුවා සම්බන්ධ ජාන විද්‍යාත්මක පර්යේෂණ කටයුතු සඳහා අමෙරිකානු විශ්වවිද්‍යාල වෙත යොමු කළ බවයි. මේ වන විට සේනා දළඹුවා බෝග 100 කට පමණ පැතිරීමේ අවදානමක් පවතින බව ද විජේතුංග මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය. මේ අතර සේනා දළඹු වසංගතය මර්දනය කිරීම සඳහා විදේශ රටවල සහය ලබා ගන්නා බව කෘෂිකර්ම ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍ය පී. හැරිසන් මහතා පවසයි. සේනා දළඹු වසංගතය මර්දනය කිරීම සඳහා ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවකදී සේනා දළඹුවන් මර්ධනය සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳ සාකච්ඡා කළ බව අමාත්‍ය පී. හැරිසන් මහතා නිව්ස් ෆස්ට් කළ විමසුමකදී සඳහන් කළේ ය. හාලිඇළ හැතැක්ම ප්‍රදේශයේ බඩ ඉරිඟු වගාවක් හා කවුපි වගාවක් සේනා දළඹුවන් විනාශ කර ඇති බවට ගොවීහු පවසති. එම ප්‍රදේශයේ දළඹු ව්‍යාප්තිය ආරම්භක අවස්ථාවේ පවතින අතර ගොවීන් ඉල්ලා සිටින්නේ එය ව්‍යාප්ත වීම වළක්වා දෙන ලෙසයි. මේ දක්වා දළඹු මර්දනය සඳහා තමන්ට උපදෙස් දීමට කිසිදු බලධාරියෙක් නොපැමිණි බව ද ගොවීහු පවසති.