ගෝඨාභය ඇතුළු විත්තිකරුවන් 7 දෙනෙකුට අධිචෝදනා කියවා දෙනු ලබයි

by Staff writer 22-01-2019 | 8:50 PM
COLOMBO (News 1st) - හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ පෙනී සිටියේ ය. මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රාජ්‍ය මුදල් අවභාවිත කිරීමක් සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් 7 දෙනෙකුට එරෙහිව ගොනු කර ඇති මෙම නඩුව අද සිට විභාගයට ගැනීමට විශේෂ මහාධිකරණය පසුගිය 17 වන දා නියෝග කළේ ය. මේ අනුව විත්තිකරුවන්ට විවෘත අධිකරණය හමුවේ අධිචෝදනා කියවා දෙනු ලැබුවේ ය. එහිදී අධිකරණ බලය සම්බන්ධයෙන් මූලික විරෝධතාවක් නගමින් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා කියා සිටියේ, අධිකරණ සංවිධාන පනත යටතේ ස්ථාපිත කළ විශේෂ මහාධිකරණයට විභාග කළ හැක්කේ විශේෂ මූල්‍යමය හා ආර්ථිකමය වංචා සම්බන්ධයෙන් පවරණ නඩු පමණක් බව ය. මෙම නඩුව රුපියල් මිලියන 33ක මුදලක් සපරාධී සාවද්‍ය පරිහරණය වන බැවින් නඩුව විභාග කිරීමේ නීතිමය අයිතියික් විශේෂ මහාධිකරණයට නැතැයි නීතිඥවරයා තර්ක කළේ ය. පැය 2කට ආසන්න කාලයක් මේ සම්බන්ධයෙන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා කරුණු දැක්වූ අතර ඊට පිළිතුරු ලබා දීමට කාලය අවශ්‍ය බව පැමිණිල්ල මෙහෙයවන නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා දැනුම් දුන්නේ ය. නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා කියා සිටියේ, නිල හා නිල නොවන ආරක්ෂක නිලධාරීන් ඩිෆෙන්ඩර් රථ පිරිවරාගෙන අධිකරණයට පැමිණෙන විත්තිකරුවන් පවත්වන මාධ්‍ය සංදර්ශන නිසා පැමිණිල්ලේ සාක්ෂිකරුවන් තැති ගැන්වීමකට ලක්වී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් අධිකරණ නියෝගයක් අපේක්ෂා කරන බව ය. නඩු විභාගය ලබන 31 වන දා දක්වා කල් තැබිණි.