කොල්ලුපිටියේ හෙරොයින් ජාවාරම මෙහෙයවූ සැකකරුවන් රඳවා තබා ගෙන ප්‍රශ්න කිරීමට පියවර

by Staff writer 22-01-2019 | 5:25 PM
COLOMBO (News 1st) - කොල්ලුපිටිය ප්‍රදේශයේ සුපිරි නිවාස සංකීර්ණයකදී හෙරොයින් කිලෝග්‍රෑම් 95කට අධික තොගයක් සමග අත්අඩංගුවට ගත් සැකකරුවන් රඳවා තබා ගෙන ප්‍රශ්න කිරීමට පොලීසිය පියවර ගෙන තිබේ. සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබුවේ, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය ඒකාබද්ධව කළ වැටලීමකිනි. කොල්ලුපිටියේ සුපිරි නිවාස සංකීර්ණයක පළමු මහලේ පිහිටි නිවසකින් සොයා ගත් මෙම හෙරොයින් තොගයේ බර කිලෝග්‍රෑම් 95යි ග්‍රෑම් 88ක් වන අතර එහි වටිනාකම රුපියල් මිලියන 1141කට අධික වන බව පොලීසිය සඳහන් කළේ ය. අත්අඩංගුවට ගත් සැකකරුවන් 05 දෙනා අතරින් දෙදෙනෙකු අමෙරිකානු ජාතිකයින් වන අතර ඔවුන් 29 හැවිරිදි සහ 43 හැවිරිදි පුද්ගලයින් ය. 45 හැවිරිදි ඇෆ්ගනිස්ථාන ජාතිකයෙකු ද ඒ අතර වේ. හෙරොයින් ජාවාරම සම්බන්ධයෙන් අමෙරිකානු ජාතිකයෙකු මෙරටදී අත්අඩංගුවට ගෙන ඇත්තේ, 1994 වසරට පසුව බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ ය. සෙසු සැකකරුවන් දෙදෙනා ලාංකිකයින් දෙදෙනෙකු වන අතර ඔවුන් හික්කඩුව ප්‍රදේශයේ පදිංචි සංචාරක කර්මාන්තයේ නිරත වන්නන් ය. ලද තොරතුරක් මත අද පෙරවරු 10.00ට පමණ ලිබටි ප්ලාසා ගොඩනැගිල්ල ආශ්‍රිතව අවේක්ෂණ රාජකාරීවල යෙදී සිටි පොලිස් නිලධාරීන් අමෙරිකානු ජාතිකයෙකු විසින් ලාංකිකයින් දෙදෙනාට හෙරොයින් අඩංගු පාර්සලයක් ලබා දීමේදී අත්අඩංගුවට ගෙන තිබේ. අනතුරුව කළ විමර්ශනවලදී සෙසු සැකකරුවන් හා මත්ද්‍රව්‍ය තොගය අදාළ නිවාස සංකීර්ණයේ පිහිටි නිවසෙන් සොයා ගෙන ඇති බව පොලීසිය සඳහන් කළේ ය. 2015 ජනවාරි 8 වන දා සිදු වූ බල පෙරළියෙන් පසුව පසුගිය වසරේ ඔක්තෝබර් 26 වන දා දක්වා පොලිස් දෙපාර්තමේන්තුව අයත් වූ නීතිය හා සාමය විෂයට අදාළ ඇමති ධූර දැරුවේ එක්සත් ජාතික පක්ෂයයි. බලයට පත් වීමට පෙර හා බලයට පත් වීමෙන් පසුවත් වංචා, දූෂණ සහ අපරාධ සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව ඔවුහු පුන පුනා ප්‍රකාශ කළහ. පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය වැනි නව ආයතන පවා බිහි කළේ මේ අනුව ය. එහෙත් මහා පරිමාණ වංචා දූෂණ නැතහොත් අපරාධ සම්බන්ධයෙන් ගත වූ වසර 4ක පමණ කාල සීමාව තුළ නිසි ක්‍රියාමාර්ග ගත්තේ ද යන්න රටේ ජනතාව තුළ ඇත්තේ සැකයකි. වංචා කළ මුදල් තැන්පත් කළ බැංකු ගිණුම් පවා දන්නා බවට එකල ඇමතිවරුන් ප්‍රකාශ කළත් අවසානයේ සිදු වූයේ, චෝදනා එල්ල වූ ඇතැම් පුද්ගලයින් සමග ආණ්ඩුවේ ඇමතිවරුන් ව්‍යාපාර ආරම්භ කිරීමයි. දැන් පොලීසිය වේගවත්ව නීතිය ක්‍රියාත්මක කරමින් සිටින බවක් පෙනෙන්නට තිබේ. මහා පරිමාණයෙන් මත්කුඩු වටලන අතරම අපරාධ මර්දනයට ද කඩිනම් ක්‍රියාමාර්ග ගනිමින් සිටියි. වසර ගණනක් ගත වන තෙක් ක්‍රියාමක නොවූ බැඳුම්කර වංචාව ගැන විමර්ශන දැන් සිදු වන බව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට වාර්තා කළේ ය. 2016 වසරේ ජනවාරි 8 වන දා බැඳුම්කර ගනුදෙනු නිසා සේවක අර්ථ සාධක අරමුදලට අයත් රුපියල් බිලියන 8කට අධික මුදලක් පාඩු වී ඇතැයි තොරතුරු ඇති බව මූල්‍ය අපරාධ කොට්ඨාසය අධිකරණයට කියා සිටියේ ය. කාලයේ වැලි තලයෙන් වැසී යාමට ඉඩ තිබූ බොහෝ අපරාධ දැන් අනාවරණය වී අපරාධ කරුවන් නීතියේ රැහැනට හසුවනු ඇතැයි ජනතා අපේක්ෂාවයි.