අනුරාධපුරයේ වට්ටක්කා ගොවීන් මහ මගට

by Staff writer 22-01-2019 | 8:05 PM
COLOMBO (News 1st) - රජය පොරොන්දු වූ පරිදි තම අස්වැන්න මිලදී ගන්නේ නැතැයි පවසමින් වට්ටක්කා ගොවීහු අද අනුරාධපුර නොච්චියාගමදී විරෝධතාවක නිරත වූහ. මෙවර අපේක්ෂිත ප්‍රමාණයට වඩා වට්ටක්කා අස්වැන්න ලැබීමත් සමග රජය මැදිහත්ව ඒවා මිලදී ගැනීමේ දීප ව්‍යාප්ත වැඩසටහනක් පසුගියදා ආරම්භ කළේ ය. ඒ අනුව තම අස්වැන්න අලෙවි කර ගැනීම සඳහා පැමිණි ගොවීන් පිරිසක් දින තුනක සිට නොච්චියාගම වී ගබඩාව අසළ රැදී සිටිති. ගොවීන් ගබඩා සංකීර්ණය ඉදිරිපිට මාර්ගය අවහිර කරමින් විරෝධතාව දක්වන අතරතුරු පොලීසිය ඊට මැදිහත් විය. මේ අතර විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් චෝදනා කරන්නේ, දේශපාලන අවශ්‍යතා මත වට්ටක්කා මිලදී ගැනීම ද සිදු වන බව ය.