මත්ද්‍රව්‍ය ජාවාරම් ජාවාරම් ගැන දැන්වීමට අංකයක්

මත්ද්‍රව්‍ය ජාවාරම් ගැන දැනුම් දීමට අංකයක්...

by Staff writer 21-01-2019 | 12:14 PM

COLOMBO (News 1st) : මත්ද්‍රව්‍ය ජාවාරම් පිළිබඳ තොරතුරු දැනුම්දීම සඳහා 1984 ක්ෂණික දුරකතන අංකය අද සිට ක්‍රියාත්මකවේ.

මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව මෙතෙක් ගෙන ගිය සටන ඉදිරි සතියේ සිට නව මුහුණුවරකින් ක්‍රියාත්මක කරන බව අද මුලතිව්හි පැවැති උත්සවයකදී එම දුරකතන අංකය හඳුන්වා දෙමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේ ය. මත්ද්‍රව්‍ය නිවරණ ජාතික සතිය ප්‍රකාශයට පත් කරමින් අද පෙරවරුවේ මුලතිව්, මුල්ලියාවලෙයිහි විද්‍යානන්දන් මහා විද්‍යාලයේ පැවැති වැඩසටහනේ ප්‍රධාන ආරාධිතයා වූයේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතායි. මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික සතිය අද සිට ලබන 28 වැනි දා දක්වාත් මත්ද්‍රව්‍ය නිවාරණ පාසල් සතිය අද සිට 25 වැනි දා දක්වාත් ක්‍රියාත්මක වනු ඇති. පාසල් සතියේ සමාරම්භය මුලතිව් විද්‍යානන්දන් විදුහලේදී සනිටුහන් කෙරුණේ යාපනය දිස්ත්‍රික්කයේ පාසල් සිසුන් එක් ලක්ෂ පනස් දහසක් උදෑසන ශිෂ්‍ය රැස්වීමේදී ප්‍රතිඥාවක් ලබාදීමෙනි. අද හඳුන්වා දුන් 1984 දුරකතනය අමතා ඕනෑම අයෙකුට මත්ද්‍රව්‍ය ජාවාරම් හා ඊට සම්බන්ධ සංවිධානාත්මක අපරාධ පිළිබඳ තොරතුරු ලබාදිය හැකි අතර ඒ සඳහා කිසිදු මුදලක් වැය කළ යුතු නැත. මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා අවධාරණය කළේ, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය ලබාදීමට රජය ගත් තීරණය කිසිසේත් වෙනස් නොකරන බවයි. මේ අතර යාපනය, මුලතිව්, කිලිනොච්චි සහ මන්නාරම් දිස්ත්‍රික්කවල හමුදාව යටතේ තිබු රජයේ හා පෞද්ගලික ඉඩම් අක්කර 1201 ක් ද ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් මුල් පදිංචිකරුවන් වෙත ලබාදීම අද සිදු කෙරුණි.