ප්‍රතිඵල නැවත සමීක්ෂණ ක්‍රමවේදය අලුත් කළ යුතුයි

විභාග ප්‍රතිඵල නැවත සමීක්ෂණ ක්‍රමවේදය අලුත් විය යුතු බව ගුරු සංගම් අවධාරණය කරයි

by Staff writer 20-01-2019 | 7:58 AM

COLOMBO (News 1st) - සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ ඇතුළු ජාතික මට්ටමේ විභාගවලදී පිළිතුරු පත්‍ර නැවත සමීක්ෂණය කි‍රීමේ ක්‍රමවේදය නව්‍යකරණයකට ලක් විය යුතු බව ගුරු වෘත්තිය සමිති පවසයි.

ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාර්ලින් මහතා සඳහන් කළේ, පසුගිය දා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සාමාන්‍ය පෙළ සිසුවියකගේ උත්තර පත්‍රය නැවත සමීක්ෂණය කරන්නැයි කළ නියෝගයෙන් ද ඒ බව තහවුරු වන බවයි. 2013 වසරේ පැවැති සාමාන්‍ය පෙළ විභාගයට පෙනි සිටි සිසුවියක සිය ඉංග්‍රීසි විෂයට අදාළ ප්‍රතිඵලය පිළිගත නොහැකි බවට පවරා තිබු නඩුවට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය දා විභාග දෙපාර්තමේන්තුවට එම නියෝගය කළේ ය. මේ සම්බන්ධයෙන් නිව්ස්ෆස්ට් විභාග කොමසාරිස් ජෙනරාල් සනත්. බි. පූජිත මහතාගෙන් කළ විමසීමේදී ඔහු සඳහන් කළේ, මේ වන විට උත්තර පත්‍ර නැවත සමීක්ෂණ ක්‍රමවේදය පූර්ණ නව්‍යකරණයකට ලක් කර ඇති බවයි.