අමාත්‍ය කාර්යභාරයන් සංශෝධනය කරමින් ගැසට් පත්‍ර 2ක්

අමාත්‍ය කාර්යභාරයන් සංශෝධනය කරමින් ගැසට් පත්‍ර 2ක්

by Staff writer 20-01-2019 | 6:25 PM
COLOMBO (News 1st) : කැබිනට් සහ කැබිනට් නොවන අමාත්‍ය ධුර කිහිපයකට අදාළව රාජ්‍ය ආයතන හා කාර්ය භාරයන් සංශෝධනය කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතිවිශේෂ ගැසට් පත්‍ර දෙකක් නිකුත් කර තිබේ. කම්කරු හා වෘත්තීය සමිති සබඳතා කැබිනට් නොවන අමාත්‍යවරයා ලෙස පත් කෙරුණු රවීන්ද්‍ර සමරවීර මහතාට අදාළ රාජ්‍ය ආයතන එම ගැසට් පත්‍රයේ සඳහන්ව ඇත. ඒ අනුව කම්කරු දෙපාර්තමේන්තුව, ජාතික ශ්‍රම අධ්‍යයන ආයතනය, සේවක අර්ථ සාධක අරමුදල, කම්කරු වන්දි කොමසාරිස් කාර්යාලය, ශ්‍රම වාසනා අරමුදල, සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදල ඇතුළු ආයතන 9 ක්, කම්කරු හා වෘත්තීය සමිති සබඳතා කැබිනට් නොවන අමාත්‍ය ධූරය යටතට පත් කර තිබේ. එම ආයතන පෙර පැවතියේ කම්කරු, වෘත්තීය සබඳතා සහ සමාජ සවිබලගැන්වීමේ අමාත්‍යවරයා වූ දයා ගමගේ මහතා යටතේයි. පසුව එය ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්වීම් අමාත්‍ය ධුරය ලෙස සංශෝධනය කෙරුණු අතර ප්‍රාථමික කර්මාන්ත විෂයට අදාළව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවත්, කුළුබඩු හා ඒ ආශ්‍රිත නිෂ්පාදන අලෙවි මණ්ඩලයත් දයා ගමගේ මහතා යටතට පත් කර තිබේ. මේ අතර ආර්ථික ප්‍රතිසංස්කරණ සහ පොදු සැපයීම් කැබිනට් නොවන අමාත්‍ය ධූරය දරන හර්ෂ ද සිල්වා මහතාට අදාළව තවත් ආයතන කිහිපයක් නව ගැසට් පත්‍රයෙන් නිවේදනය කර තිබේ. ඒ අනුව, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා යටතේ පැවති ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවත්, පී. හැරිසන් මහතා යටතේ පැවති ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුවත් හර්ෂ ද සිල්වා මහතා යටතට පත් කර තිබේ. 1990 සුවසැරිය පදනම, පවුල් ආර්ථික ඒකකය, දත්ත විශ්ලේෂණ ඒකකය සහ මහජන සැපයීම් කාර්ය සාධක බලකාය, ආර්ථික ප්‍රතිසංස්කරණ සහ පොදු සැපයීම්, කැබිනට් නොවන අමාත්‍ය ධූරය යටතට පත් කෙරුණු අනෙක් නව ආයතනයි.