වංචනික විද්‍යුත් තැපැල් පණිවුඩ හුවමාරුවක්

ශ්‍රී ලංකා මහ බැංකුව ලෙස පෙනී සිටිමින් වංචනික විද්‍යුත් තැපැල් පණිවුඩ හුවමාරු කිරීමේ උත්සහයක්

by Staff writer 19-01-2019 | 10:40 PM
COLOMBO (News 1st) - ශ්‍රී ලංකා මහ බැංකුව ලෙස පෙනී සිටිමින් වංචනික විද්‍යුත් තැපැල් පණිවුඩ හුවමාරු කිරීමේ උත්සහයක් පිළිබඳව මහ බැංකුව ජනතාවගේ අවධානය යොමු කර තිබේ. "Notice from Central Bank of Sri Lanka EPF" යන මැයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවක අර්ථ සාධක අරමුදල් දෙපාර්තමේන්තුව නමින් ව්‍යාජ ලෙස පෙනී සිටිමින් ප්‍රධාන වශයෙන් ශ්‍රී ලංකාවේ මූල්‍ය ආයතන ඉලක්ක කරමින් වංචනික විද්‍යුත් තැපැල් පණිවුඩ හුවමාරු වෙමින් පවතින බවට ශ්‍රී ලංකා මහ බැංකුවට වාර්තා වී තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ අර්ථ සාධක අරමුදල් දෙපාර්තමේන්තුව විසින් එවන් කිසිදු දැනුම් දීමක් කිසිදු අයුරකින් හෝ සිදු කර නොමැති බව මහජනතාව සහ මූල්‍ය ආයතන වෙත දැනුම් දෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ය. "Notice from Central Bank of Sri Lanka EPF" යන මැයෙන් ලැබෙන සැක කටයුතු විද්‍යුත් තැපැල් පණිවුඩ හෝ එහි ඇමුණුම් හෝ ඊට අදාළ සම්බන්ධක විවෘත කිරීමෙන් වළකින මෙන් ශ්‍රී ලංකා මහ බැංකුව මහජනතාවගෙන් හා මූල්‍ය ආයතන වෙතින් ඉල්ලා සිටියි.