වැඩිපුර ගෙවූ මුදල් ගියේ කාගේ සාක්කුවට ද?

වැඩිපුර ගෙවූ මුදල් ගියේ කාගේ සාක්කුවට ද?

by Staff writer 19-01-2019 | 8:44 PM
COLOMBO (News 1st) - ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ඇති ඒ 330 වර්ගයේ ගුවන් යානා 4කට මාසිකව අමෙරිකානු ඩොලර් මිලියන 3කට අධික මුදලක් වැඩිපුර ගෙවීමට සිදු වන බව වාර්තා වේ. එම කරුණු අනාවරණය වී ඇත්තේ‍, එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයට ලබා දුන් වාර්තාවකිනි. මෙම ගුවන් යානා හතරෙන් එක්ක කිසිදු ප්‍රයෝජනයකට නොගෙන ගාල් කර ඇති ආකාරය අපි පසුගියදා හෙළිදරව් කළෙමු. ඒ සඳහා මාසිකව ගෙවන මුදල අමෙරිකානු ඩොලර් 585,000කි. නමුත් මෙවැනි ගුවන් යානාවක වත්මන් බදු වටිනාකම අමෙරිකානු ඩොලර් 350,000ත් 450,000ත් අතර මුදලක් වේ. එම වාර්තාවෙන් පෙන්වා දී ඇත්තේ, සේසු ඒ 330 - 300 වර්ගයේ ගුවන් යානයක් අමෙරිකානු ඩොලර් 660,000ත් 700,000ක් වැනි මුදලකට බදු ලබා ගැනීමට වෙළෙඳපොළේ හැකියාව තිබියදී ශ්‍රීලංකන් ගුවන් සමාගම එම ගුවන් යානා තුනම කල් බදු ක්‍රමයට ගෙන ඇත්තේ, අමෙරිකානු ඩොලර් දස ලක්ෂයකට අධික මුදලක් වැය කරමින් බව ය. අදාළ ගුවන් යානා කල් බදු ක්‍රමයට ඇනවුම් කර ඇත්තේ, පසුගිය රජය සමයේදී ය. මෙම ගුවන් යානා 4ම තම ගුවන් සමාගමේ මූලික අවශ්‍යතාවලට අනුකූල නොවන බවත් ඒ සඳහා මාසිකව අමෙරිකානු ඩොලර් මිලියන 3කට අධික වියදමක් දැරීමට සිදු වී ඇති බවත් එම වාර්තාවේ සඳහන් ය. මෙම වාර්තාව සඳහා ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී සුරේන් රත්වත්තේ මහතා ද සිය අත්සන තබා තිබේ. අදාළ ගුවන් යානා 3 ශ්‍රීලංකන් ගුවන් සමාගමට මේ වන විට අතිරික්තයක් බවට පත්ව ඇති බව ද සිය වාර්තාවෙන් ඔහුන් පෙන්වා දී තිබේ. ශ්‍රීලංකන් ගුවන් සමාගමට ඒ 350 - 900 වර්ගයේ ගුවන් යානා 4ක් මිලදී ගැනීම මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ගත් තීරණය අවලංගු කිරීම හේතුවෙන් එයාර් කැප් සමාගමට අමෙරිකානු ඩොලර් මිලියන 98ක වන්දි මුදලක් ගෙවීමට හා තවත් කොන්දේසි කිහිපයකට යටත් වීමට සිදු විය. එසේ අවලංගු කිරීමේ තීරණය ගැනුණේ අගමැතිවරයා ලබා දුන් උපදෙස් අනුව චරිත රත්වත්තේ විසින් යැවූ ඊමේල් පණිවුඩය ඕස්සේ බව අපි පසුගියදා අනාවරණය කළෙමු. චරිත් රත්වත්තේ යනු සුරේන් රත්වත්තේ මහතාගේ සොහොයුරායි. මසකට රුපියල් කෝටි 10කට අධික කල්බදු මුදලක් ගෙවමින් නිකරුනේ ගාල් කර ඇති ගුවන් යානය ලබා ගන්නට සිදු වූයේ ද මෙම ගිවිසුම්ගත කොන්දේසිවලට අනුව ය. මෙසේ වැඩිපුර ගෙවූ මුදල් ගියේ කාගේ සාක්කුවකට ද? වැඩිපුර ගෙවන බව දන්නේ නම් දැන්වත් එය නිවැරදි නොකරන්නේ ඇයි? මෙසේ නාස්ති කරන්නේ ජනතාවගේ මුදල් නොවේ ද?