මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමට පිලිපීන රජයේ සහය

මත්ද්‍රව්‍ය අභියෝගය ජය ගැනීමට තීන්දු තීරණ රැසකට එළැඹෙන බව ජනපති පිලිපීන පොලිස් මූලස්ථානයේදී කියයි

by Staff writer 19-01-2019 | 5:01 PM
COLOMBO (News 1st) - ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමට පිලිපීන රජය සහය පළ කර තිබේ. ඒ පිළිබඳව ලබා දිය හැකි තාක්ෂණික උපදේශන සේවා පිළිබඳව සොයා බැලීමට පිලිපීන විශේෂඥ කණ්ඩායමක් ළඟදීම දිවයිනට පැමිණීමට නියමිත ය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පිලිපීන සංචාරයේ තවත් ප්‍රතිලාභයක් ලෙස මෙම සහය පළ වී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය. සිය පිළිපීන රාජ්‍ය සංචාරයේ අවසන් දිනය වන අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පිලිපීන පොලිස් මූලස්ථානය වෙත ගොස් එරට මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිරීක්ෂණ චාරිකාවක ද නිරත විය. අනතුරුව පිලිපීන පොලිස් ප්‍රධානීන් ඇතුළු මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමග පැවති හමුවේදී ජනාධිපතිතුමා කියා සිටියේ, මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව තම නායකත්වයෙන් විවෘත සටනක් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාවට නංවා ඇති බව ය. භූගෝලීය පිහිටීම අනුව නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට ශ්‍රී ලංකාව සුවිශේෂී හුවමාරු මධ්‍යස්ථානයක් වී ඇතැයි සඳහන් කළ ජනාධිපතිතුමා නීති විරෝධී මත්ද්‍රව්‍ය ශ්‍රී ලංකාවට ගෙන ඒම වැළැක්වීම වෙනුවෙන් සියලු මිත්‍ර රටවල සහය අපේක්ෂා කරන බව ද මෙහිදී ප්‍රකාශ කළේ ය. නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමට පිලිපීන ජනාධිපතිවරයා ගෙන යන ප්‍රබල සටන ඇගයීමට ලක් කළ ජනාධිපතිතුමා කියා සිටියේ, තම පිලිපීන රාජ්‍ය සංචාරය සිදු වූයේ ද එම සේවාවට කරන ගෞරවයක් ලෙස බව ය. මත්ද්‍රව්‍ය ජාවාරම ලෝකයේ බොහෝ රටවලට අභියෝගයක් වුවද ඒ සඳහා නිසි පියවර නොගන්නේ ඇතැම් දේශපාලනඥයින් ඊට සම්බන්ධ වීම හේතුවෙන් බව පෙන්වා දුන් ජනාධිපතිතුමා, එය මත්ද්‍රව්‍ය මර්දන වැඩපිළිවෙළේ පවතින විශාල ගැටලුවක් බව කියා සිටියේ ය. අද දවසේ ද ජනාධිපතිවරයා වශයෙන් ශ්‍රී ලංකාවේ නීති විරෝධී මත්ද්‍රව්‍ය අභියෝගය ජය ගැනීමට ප්‍රබල සටනක නිරතව සිටින බව පෙන්වා දුන් ජනාධිපතිතුමා, ඒ වෙනුවෙන් මෙම වසරේදී වැදගත් තීන්දු තීරණ රැසකට එළැඹෙන බව අවධාරණය කළේ ය.