ට්‍රම්ප් හා උන් අතර මීළඟ හමුව වියට්නාමයේ

ට්‍රම්ප් හා උන් අතර මීළඟ හමුව වියට්නාමයේදී පැවැත්වීමේ සූදානමක්

by Staff writer 19-01-2019 | 8:11 AM

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන් අතර මීළඟ හමුව ලබන පෙබරවාරි මස අවසන් සතියේදී පැවැත්වීමට තීරණය වී තිබේ.

ඒ, උතුරු කොරියානු නියෝජිත කිම් යොන්ග් චොල් සහ අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ අතර වොෂින්ටන් නුවර පැවති හමුවේදීයි. අදාළ හමුව පැවැත්වෙන දිනය පසුව නිවේදනය කරන බව ධවල මන්දිරය නිවේදනය කළේ ය. හමුව පැවැත්වෙන ස්ථානය, මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශයට පත්කර නොමැත. එහෙත් වියට්නාමයේදී නායකයින් දෙපළ හමුවනු ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ ය. පසුගිය වසරේ සිංගප්පූරුවේ පැවති හමුවේදී දෙරටේ නායකයින් ඇතිකර ගත් එකඟතාවල සාර්ථක ප්‍රගතියක් පෙන්නුම් කරන බව ධවල මන්දිරය පවසයි. එහෙත් උතුරු කොරියාවේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් අමෙරිකාව නිරන්තර අවධානයෙන් පසුවන බව ද ධවල මන්දිරය වැඩිදුරටත් සඳහන් කළේ ය.