කිනිවිට දරුවන් සැලෙන විට සැනසූ V-Force මෙහෙයුම

කිනිවිට දරු දැරියන් සැලෙන විට සැනසූ V-Force මෙහෙයුම

by Staff writer 19-01-2019 | 9:08 PM
COLOMBO (News 1st) - ගම්මැද්ද V-Force 4 වන අදියර අද කෑගල්ලේදී ක්‍රියාත්මක කෙරිණි. V-Force සාමාජිකයින් අද පෙරවරුවේ මෙලෙස පැමිණියේ කෑගල්ලේ දුෂ්කර පෙදෙසක පිහිටි පාසලකට ය. වරකාපොළ නගරයේ සිට කිලෝමීටර 15ක් ගිය විට දැදිගම මහපල්ලේගම කිනිවිට කණිෂ්ඨ විද්‍යාලය හමුවන අතර, සිසුන් දැඩි අපහසුතා මධ්‍යයේ අධ්‍යාපන කටයුතුවල නිරත වූයේ අබලන් ගොඩනැගිලිවල ය. එම ගොඩනැගිලි පිළිසකර කර තීන්ත ආලේප කිරීම අද මෙම ව්‍යාපෘතිය යටතේ සිදු කෙරුණේ, ගුරු දෙගුරුන්ගේ හා සිසුන්ගේ සිහිනයක් සැබෑ කරමිනි. සීමාසහිත කැපිටල් මහරාජා සංවිධානයේ ප්‍රධාන විධායක නිලධාරී මොහාන් බරාරා, සමූහ අධ්‍යක්ෂ ෂෙවාන් ඩැනියෙල්, නිව්ස්ෆස්ට් අධ්‍යක්ෂ සාමාන්‍යාධිකාරී යසරත් කමල්සිරි යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් ද මේ අවස්ථාවට සහභාගී වූහ. කන්සායි පේන්ට්ස් ලංකා පුද්ගලික සමාගම සහ ඒ-පෑඩ් හෙවත් ආපදා කළමනාකරණය පිළිබඳ ආසියා පැසිෆික් සහයෝගීතා සංවිධානය මෙහිදී ලබා දුන්නේ මාහැඟි දායකත්වයකි. විවිධ වෘත්තිකයින්, ගම්මැද්ද සහ නිව්ස්ෆස්ට් සාමාජිකයින්, මොරටුව - පේරාදෙණිය සහ කොළඹ විශ්වවිද්‍යාලවල සිසු සිසුවියන් මෙන්ම, එම්.අයි.එම්. හෙවත් මහරාජා ඉන්ස්ටිටියුට් ඔෆ් මැනේජ්මන්ට් ආයතනයේ ඩිප්ලෝමා සිසු සිසුවියෝ ද ව්‍යාපෘතියට එක්ව සිටියහ. කිනිවිට කනිටු විදුහලේ ඉතිහාසය අලුත් කරමින් නව පිටුවක් පෙරළූ ගම්මැද්ද V-Force, අද පස්වරුවේ එම විදුපියසෙන් සමුගත්තේ මෙවැනි තවත් ජාතික කාර්යයකට උර දීමේ පරමාර්ථය ඇතිව ය.