රැඳවියන්ට පහරදීම: දෙවන කණ්ඩායමේ පරීක්ෂණ අද සිට

අඟුණකොළපැලැස්ස බන්ධනාගාර රැඳවියන්ට පහරදීම: දෙවන කණ්ඩායමේ පරීක්ෂණ අද සිට

by Staff writer 19-01-2019 | 9:27 AM

COLOMBO (News 1st) - අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන්ට පහරදීම සම්බන්ධව සොයා බැලීමට පත්කළ දෙවන පරීක්ෂණ අද සිට ආරම්භ කරන බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය පවසයි.

අමාත්‍යංශය පැවසුවේ, එහි වාර්තාව ලබන 25 වන දිනට පෙර විෂයභාර අමාත්‍යතුමියට භාරදීමට නියමිත බවයි. පසුගිය වසරේ නොවැම්බර් 22 වැනි දා අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන්ට එල්ල කළ පහරදීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මියගේ උපදෙස් පරිදි පත් කළ දෙවන පරීක්ෂණ කණ්ඩායම ඊයේ දිනයේදී නම් කෙරුණි. ඒ අනුව ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් පී. එම්. නානායක්කාර, රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් බී. එම්. එම්. එම්. බස්නායක, අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ජී. ඩී. ඒ.ස්වර්ණලතා යන මහත්ම මහත්මීන් අදාළ කම්ටුවේ සාමාජිකයින්වේ. ඒ පිළිබඳව පරීක්ෂණ පැවැත්වීම සඳහා අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යවරියගේ උපදෙස් පරිදි පත් කළ පළමු පරීක්ෂණ කමිටුව මේ වන විටත් අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ සිට පරීක්ෂණ කටයුතු ආරම්භ කර තිබෙන අතර එහි වාර්තාව ලබන සඳුදා ලබාදීමට නියමිතයි.