A 350 යානා අවලංගු කිරීම සහ ප්‍රයෝජනයක් නැති යානයක් ලබා ගැනීම ව්‍යාපාර ආකෘතියට නොගැලපෙන බව ශ්‍රීලංකන් ගුවන් සමාගම කියයි

by Staff writer 18-01-2019 | 6:57 PM

COLOMBO (News 1st) - ණය කන්දක ගොදුරක් බවට පත් ව ඇති ශ්‍රීලංකන් සමාගම කල් බදු ක්‍රමයට ලබාගත් එයාර් බස් A 330 - 200 ගුවන් යානයක් ප්‍රයෝජනයකට නොගෙන පසෙකට දමා තිබෙන අයුරු පසුගිය දා අප අනාවරණය කළෙමු.

අද ඒ පිළිබඳව ශ්‍රීලංකන් ගුවන් සේවය කරුණු පැහැදිලි කරමින් නිවේදනයක් නිකුත් කර තිබේ. සමාගමේ කළමනාකාරීත්වය පවසන්නේ, 2016 වසරේදී A 350 ගුවන් යානා ඇණවුම් අවලංගු කිරීමට ගත් තීරණයත් එහිදී ඇතිකරගත් ගිවිසුමට අනුව A 330 - 200 යානයක් ලබා ගැනීමට ගත් තීරණයත් ආයතනයේ වර්තමාන ව්‍යාපාර ආකෘතියට නොගැලපෙන බවයි. කිසිදු ප්‍රයෝජනයකට නොගත් A 330 යානය පසුගිය කළමනාකාරීත්වය විසින් වෙනත් ගුවන් සේවාවකට කල්බදු ක්‍රමයකට ලබාදුන්නත් අදාළ සමාගම ද එම ගෙවීම් පහර හැර ඇතැයි ශ්‍රීලංකන් සමාගම පවසයි. ඔවුන් අද නිවේදනය කළේ, අදාළ සමාගමෙන් අලාභය පියවා ගැනීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට වර්තමාන කළමනාකාරීත්වය කටයුතු යොදමින් ඇති බවයි. හුවමාරු ගුවන් සේවයකට හෝ වෙනත් ගුවන් සමාගමකට යානය ලීසිං කිරීමේ හැකියාව පිළිබඳව අවධානය යොමුකර ඇති බවත් එතෙක් එම යානය කටුනායක රඳවා තබන බව ද ශ්‍රීලංකන් සමාගම පවසයි. රටේ ජනතාවගේ මුදල් විනාශ කරන මෙවැනි හොරුන් අනාවරණය කරන මාධ්‍ය කළු නම් මේ ගනුදෙනු පිටුපස සිටින පුද්ගලයින් හොර අලි නොවේ ද?