නාගරික මන්ත්‍රී කුලතිස්ස ගීගනගේට ඇප

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ නාගරික මන්ත්‍රී කුලතිස්ස ගීගනගේ ඇප මත මුදා හැරේ

by Staff writer 18-01-2019 | 4:42 PM

COLOMBO (News 1st) - රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ නගර සභාවේ නාගරික මන්ත්‍රී කුලතිස්ස ගීගනගේ මහතා රුපියල් 10,000 ක මුදල් ඇප හා රුපියල් ලක්ෂ 2 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

ඒ, සැකකාර නාගරික මන්ත්‍රීවරයා අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී යි. ඇප ලබාගැනීමෙන් අනතුරුව සාමය කඩවන ආකාරයෙන් කටයුතු කළහොත් ඇප අවලංගු කරන බව ද පළමු සැකකාර කුලතිස්ස ගීගනගේ මහතාට මහේස්ත්‍රාත්වරිය අවවාද කළා ය. 2018 ඔක්තෝබර් 28 වැනි දා දෙමටගොඩ ඛනිජ තෙල් නීතිගත සංස්ථා පරිශ්‍රයට අයුතු ලෙස ඇතුළුවීම හා අයුතු ජන රාශිය යන චෝදනා යටතේ ඔහු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. එම සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන අද ඉදිරිපත් කළ සැකකාර පුලතිස්ස මහතාගේ ඥාතී පුත්‍රයෙකු වන ගයාන් කුලවංශ පුලතිස්ස නමැත්තා වෙනුවෙන් කළ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය එම සැකකරු ලබන 25 වැනි දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කළා ය. සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට කොළඹ අපරාධ කොට්ඨාසය විමර්ශන සිදුකරමින් සිටියදී තව ත් සැකකරුවන් 8 දෙනෙකු අද අධිකරණය හමුවට නීතිඥයින් මගින් ඉදිරිපත්වී අධිකරණයට භාරවීමට අවසර ඉල්ලා සිටි නමුත් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත්වරයි එම සැකකරුවන් කොළඹ අපරාධ කොට්ඨාසයට භාරදෙන ලෙසට ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සුසිල් ප්‍රේම්ජයන්ත් මහතාට දැනුම් දුන්නේ ය. එහිදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කර තව ත් පුද්ගලයෙකුට වෙඩි තබා බරපතළ තුවාල සිදු කළේ යැයි කියන ඇමති ආරක්ෂක ඒකකයේ පොලිස් සැරයන්වරයා වෙනුවෙන් කළ ඇප ඉල්ලීම ද ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත්වරිය ඔහු ලබන 1 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.